Tuesday 13 August 2013

වැලිවේරියේ ගැටුම - කර්මාන්ත ශාලාව වෙන තැනකට ගෙනයාම වෙඩි තැබීමේ පරීක්ෂණ යට ගැසීමක්

බීමට පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට පහරදුන් රාජපක්ෂ රෙජීමය දැන් එම කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයක පිහිටුවන බව කියන්නේ වෙඩි තැබීමට අණදුන් බලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කරන ජනතා පෙළගැස්ම හා සිද්ධියට අදාළ පරීක්ෂණ යට ගැසීමට යැයි එ.ජා.පය පවසයි.

ආන්දෝලනයට තුඩුදුන් කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගෙන යන්නේ අහිංසක ජීවිත තුනක් සහ තිස් දෙනෙකුට වැඩි පිරිසකගේ සිරුරින් රතු රුධිරය ගලා යෑමෙන් පසුදැයි එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි.

මහලේකම්වරයා විසින් එවූ එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක මිනිසුන්ට උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රතුපස්වල ජන සංහාරයට මූලික හේතුව වූ අත්වැසුම් කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගෙනයන බව ජනාධිපති කාර්යාලය ඊයේ (12) නිවේදනය කරන ලදී.

ජනතාව ගොනාට ඇන්දවීමේ තවත් උත්සායක් බවට පැහැදිලි ලෙස පෙනෙන මේ තීරණය ගැන ඕනෑම සාධාරණ මනසක් ඇති අයෙකුගේ සිතට නැගෙන ප්‍රශ්නය නම් “මේ කම්හල වෙනත් තැනකට ගෙන යන්නට රාජපක්ෂ රෙජීමයට අහිංසක ජීවිත තුනක් සහ තිස් දෙනෙකුට වැඩි පිරිසකගේ සිරුරින් ගලා ගිය රතු රුධිරය ඕනෑ වූයේ ඇයිද?” යන්නයි.

මේ කර්මාන්ත ශාලාව නිසා තමන්ගේ බොන වතුර ටික අපවිත්‍ර වන බව රතුපස්වල ජනතාව මේ ආණ්ඩුවට විශාල කාලයක සිට පැමිණිලි කළද, ඒ සියල්ල “බීරි අලින්ට වීණා වැයුවා සේ” විය. එබැවින් රතුපස්වල ජනතාවට ඉතිරි වූ එකම විකල්පය වූයේ මේ ගැන සාමකාමීව උද්ඝෝෂණය කර ලෝකයාට කෑ ගසා කියන්නටය.

එහෙත්, එසේ කළ ඔවුනට හිත්-පිත් නැති මෘග රෙජීමය පිළිතුරු දුන්නේ හිතුණු හිතුණු අතේ එල්ල කළ ජීව උණ්ඩ වරුෂාවකින් සහ යකඩ පොලුවලිනි. එහි ප්‍රතිළලය ලෙස ජීවිත තුනක් අහිමි වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

එසේ තිරිසන් ලෙස ක්‍රියා කළ රාජපක්ෂ රෙජීමය අද ජනතාවගේ මළ සිරුරු සහ වෑහෙන රුධිරය මත සිටගෙන මේ කම්හල වෙනත් තැනකට ගෙනියන බවට නිවේදනය කරයි. මේ නිවේදන මගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ රතුපස්වල සංහාරයට වගකිවයුතු ඝාතකයන් සහ එයට අණදුන් බලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බල කරන ජනතා පෙළගැස්ම විසුරුවා දමන්නටයි.

එහෙත් ලේ තැවරුණු රාජපක්ෂ රෙජීමයේ මුසාවාදවලට රැවටෙන්නට ජනතාව තවදුරටත් අඥාන නොවන බව ඝාතකයන්ට මම මතක් කර දෙනු කැමැති අතර මේ සංහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරන ලෙස ආණ්ඩුවට බල කර කියා සිටිමි.

එසේම යුක්තිය, නිදහස සහ සාධාරණත්වය උදෙසා බල කරන්නට හෙට (14) දින සවස 2.00 ට කොළඹ, කොටුව දුම්රිය පල ඉදිරිපිටට හැකිනම් කළු ඇඳුමින් සැරසී පැමිණ, රාජපාක්ෂික ත්‍රස්තවාදයට එරෙහිව “සමගි බලවේගය” සමග එක්ව අත්වැල් බැඳ හඬ නගන ලෙස ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිමි.

එසේම රාජපක්ෂ රෙජීමයට මතක් කර දෙන්නේ නිදහස සහ සාධාරණත්වය වෙනුවන් නැගෙන ජනතා හඬ පොඩිකර දමන්නට මිනීමරුවන්ගේ තුවක්කු - බයිනේත්තුවලට නොහැකි බවයි.

“ඉවසුවා ඇති! රාජ-පාක්ෂික ත්‍රස්තවාදයට එරෙහිව අපි එකා මෙන් නැගී සිටිමු.”

තිස්ස අත්තනායක පා.ම.

මහ ලේකම් - එක්සත් ජාතික පක්ෂය

2013 අගෝස්තු 13 දින දීය.

No comments:

Post a Comment