Thursday 1 August 2013

විශ්වවිද්‍යාලවල හිටියේ ගංජාකාරයන් කසිප්පු කාරයන් - එස් බී



විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ගංජා, කසිප්පු වලට හුරු වී සිටි බවත් නායකත්ව පුහුණුව නිසා ඒ තත්වය වෙනස් කිරීමට හැකිවූ බවත් උසස් අධ්‍යපන ඇමැති එස් බී දිසානායක පවසයි.

විශ්වවිද්‍යාල සහ උසස් තාක්ෂණික ආයතනයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විවිධ නවෝත්පාදන කුසලතා සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉකුත් (23) පැවැති මෙම වැඩසටහන අරඹමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.

"විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සියයට අනූතුනක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී කිසිදු ශාරීරික ක්‍රියාකාරකමක යෙදෙන්නේ නෑ. මේ දරුවන් අතර නොයෙක් විෂමාචාර වාර්තා වුණා. ගංජා බිමට සිසුන් වැඩි නැඹුරුවක් ඇති බව අපි දුටුවා. අරක්කු, කසිප්පුවලට ළමුන් යොමු වුණා. මේ තත්ත්වය භික්ෂු ශිෂ්‍යයන් අතර වඩාත් වැඩියෙන් තිබුණා. එම තත්ත්වය පාලනය කිරීමට නායකත්ව පුහුණුව හරහා අපි පියවර ගත්තා."
ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

අපේ විශ්වවිද්‍යාල අලුත් දැනුම බිහිවීම, නව නිපයුම් කිරීම බිඳ වැටිලා. 1987 වසරින් පසුව විශ්වවිද්‍යාලවල පාලනය සිසුන්ගේ අතට පත්වීම එයට ප්‍රධාන හේතුවයි. 1987 න් පසුව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ළමුන් කියන දේ කරන්න ගත්තා. විශ්වවිද්‍යාල සිසුන් ඝාතනය කරනවිට, ළමුන්ගේ අත් කකුල් කඩන විට ඔළු කුඩු කරන විට දඬුවම් දීමේ බලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තිබුණේ නෑ. මේක මහා තර්ජනයක් වී තිබුණා. එහෙත් විශ්වවිද්‍යාල සිසුන් විසින් විශ්වවිද්‍යාල, පාලනය කිරීමේ අවසන් යුගයට දැන් පැමිණ සිටිනවා
මේ තත්ත්වය වෙනස් කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය අපි විශ්වවිද්‍යාල පාලන අධිකාරියට දුන්නා.

විශ්වවිද්‍යාලවල පාලනය අතට ගෙන සිටි සිසුන් සම්බන්ධයෙන් තීන්දු ගන්නා තැනට අපි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තල්ලු කළා.

විශ්වවිද්‍යාල තුළින් නව නිර්මාණ බිහිවීමේ යුගය නැවත වරක් ඇරඹිය යුතුයි. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ නව නිර්මාණ තෝරාගෙන ඒවා ඇගයීමට ලක් කරනවා. නව නිර්මාණ කිරීමට සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද පෙළඹවිය යුතුයි. විශ්වවිද්‍යාල නව නිර්මාණ බිහිකරන පර්යේෂණාගාර බවට පත්වනු දැකීම අපගේ අපේක්ෂාවයි.

No comments:

Post a Comment