Tuesday 13 August 2013

සන්ධාන ආණ්ඩුවක් තුළ ගැටුම් ඇතිවීම පිළිබඳ පුදුම වියයුතු නැහැ - මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා


මේ වනවිට වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභාවල ඡන්ද සටන ආරම්භ වී තිබෙනවා. ඒ අතරින් 

මාත‍ලේ දිස්ත්‍රික්කය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇත්තේ එම දිස්ත්‍රික්කය සඳහා තරග කරන සන්ධාන අපේක්ෂකයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන නිසයි.
ඔබ ඔය අහන්නේ මාත‍ලේ දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තරග කරන එක්තරා අපේක්ෂකයෙකුත්, නාවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් අතර ඉකුත් දා හටගත් ගැටුම ගැන වෙන්න ඕනෑ. මට දැන ගන්නට ලැබුණු විදියට අංක තහඩු රහිත වාහන කීපයකින් පැමිණි එක්තරා අපේක්ෂකයකු පැමිණි යම් කෙනෙකුට පිස්තෝලයක් එල්ල කර පහරදීමක් සිදුකර තිබෙනවා. ඊට පස්සේ එතැනට පැමිණි අවට සිටි උදවිය ඒ අපේක්ෂකයා පැමිණි වාහනවලට ඉඩ නොදී රඳවාගෙන සිටියදී ඔහු ත්‍රීවිලරයකින් පැනගොස් තිබෙන බවයි අසන්නට ලැබුණේ. ඊට පස්සේ ඔහු ‍පොලීසියට ගිහින් පැමිණිලි කර තිබෙන්නේ තමන්ට පහරදී තමුන්ගේ වාහනවලටත් අලාභහානි කළැයි කියලයි. කොහොම හරි දැන් ඔය ප්‍රශ්නය අධිකරණය හමුවේ පවතින නිසා අපි ඒ ගැන වැඩිය කතා කරන එක සුදුසු නැහැ කියලයි මට හිතෙන්නේ. 

 කොහොම හරි මේ ලග්ගල ආසනය ගිනිගෙන තිබෙන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සම්බන්ධ පිරිස් නිසා නේද?
ඒකට සම්බන්ධ තවත් හේතුවක් තිබුණා. මොකද කාලයක පටන්ම මේ මාත‍ලේ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් වැඩි දෙනකුම පුරුදුවෙලා හිටියේ තමන්ගේ ආසනය මොකක් වුණත් මේ ලග්ගල ආසනයට ඇවිත් ඡන්ද එකතු කරන්නයි. මොන්ටි ගොපල්ලව ඇමැතිතුමාගෙන් පස්සේ ලග්ගලට ශ්‍රී ල.නි.ප.යෙන්
පත් කරපු හැම ආසන සංවිධායකවරයකුම දුර්වලයන්වීම ඒ අයට ලොකු වාසියක් වුණා. මෙදා සැරෙත් ඔය බොහොමයක් දෙනා ලග්ගල පැත්තෙන් හොරගල් අහුලන්නේ ඒ පුරුදු සෙල්ලමට තමයි. හැබැයි මෙදා සැරේ නම් ලග්ගල ජනතාව එවැනි උදවියට කදිම පාඩමක් උගන්වයි කියලයි මට හිතෙන්නේ. 

අපි දන්නවා අද ලග්ගල ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායක ධුරය දරන්නේ ඔබයි කියලා. එහෙනම් ඔබත් දුර්වල සංවිධායකවරයෙක්ද?
මම කිව්වේ මා ගැන ‍නෙවෙයි මට කලින් හිටපු ආසන සංවිධායකවරුන් ගැනයි මම පසුගිය ජනාධිපතිවරණයේදී සියයට 74ක් ඡන්ද අරගෙන දුන්නා. ඊළඟට පසුගිය මහ මැතිවරණයේදී ලග්ගලින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබුණේ මටයි. ඒ නිසාම සන්ධානයට තව බෝනස් ආසනයකුත් ලැබුණා.

ලග්ගල මැරකම්වලටත් ටිකක් ප්‍රසිද්ධයි නේද?
අ‍පොයි නෑ. ලග්ගල ආසනය පුරාම ඉන්නේ අහිංසක ගොවි ජනතාවක්. හැබැයි ඉතින් ලග්ගලට පිටින් ඇවිත් චණ්ඩි පාට් දාන්න ආවොත් අපේ උදවියත් අත්බැඳගෙන බලාගෙන ඉන්න එකක් නෑ. කවුද ගෙදරටම ඇවිත් ගහලා යනකං බලාගෙන ඉන්නේ?
 
 ඒ කියන්නේ ඔබටත් මැර බලයක් තිබෙන බවද?
අ‍පොයි නෑ. මම බොහොම අහිංසක මිනිහෙක්. ඒත් මම අර මුලින් කිව් විදියට අපේ ලග්ගල ආසනයට පිටින් ඇවිත් චණ්ඩි පාට් දාන්න ආවොත් ඒ විදියටම ප්‍රතිචාර දක්වන්න අපිටත් පුළුවන්. 

අද වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී පැහැදිලිවම කැපී පෙනෙන දෙයක් තමයි දේශපාලනඥයන්ගේ ළඟම ඥාතිවරුන් තරඟයට බැස තිබිම. ඔබත් තමන්ගේ සමීප ඥාතිවරුන් ඡන්දයට ඉදිරිපත් කර තිබෙනවාද?
මගේ කිසිම නෑ කෙනෙක් මෙවර ඡන්දයට ඉදිරිපත් කරලා නෑ. මම ඡන්දයට දාලා තියෙන්නේ නාවල සහ ලග්ගල ප්‍රාදේශීය සභා සභාපතිවරුන් දෙන්නා විතරයි. මම හිතනවා ඉදිරිකාලයේදී හෝ මාත‍ලේ දේශපාලනඥයන් ඒ ක්‍රමවේදයම අනුගමනය කරයි කියලා.
 
 විල්ගමුව ප්‍රාදේශීය සභාවේ රුපියල් ලක්ෂ 80ක පමණ මුදල් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවත් අසන්නට ලැබෙනවා.
ඇත්තෙන්ම විල්ගමුව ප්‍රාදේශීය සභාවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් වැලි බලපත්‍ර ලබාදීමේදී ලැබෙන ආදායමෙන් සියයට 40ක මුදලක් ලබාගත යුතු යැයි අපි තීන්දුවක් ගෙන තිබුණා. දැන් බලනකොට ලක්ෂ 80ක් නෙවි කෝටි 1 1/2ක විතර මුදලක් කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිවී තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 5ක් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඉදිරියේදී ඊට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුවේවි.
 
ඔය කියන ප්‍රාදේශීය සභාපතිවරයාට නාම යෝජනා දී තිබෙන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාවූ ඔබගේ නිර්දේශය අනුවයි. ඒ අනුව ඔබටත් ඒ චෝදනාවෙන් මිදෙන්න බෑ.
ඒ සභාපතිවරයාට ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ලබාදීම සිදුකෙරුණේ මගේ නිර්දේශය පරිදි බව ඇත්ත. ඒත් ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත් වූ පසු ඔවුන්ගේ කටයුතුවලට ඇඟිලි ගහන්න ප්‍රදේශයේ ආසන සංවිධායක සහ මන්ත්‍රීවරයා වූ මට බලයක් නෑ. කොහොම වුණත් සෙසු මන්ත්‍රීවරුන් විසින් ඒ සම්බන්ධව මා දැනුම්වත් කළ විගස මා ඒ සම්බන්ධව කඩිනමින් පියවර ගෙන තිබෙනවා. නව පනත යටතේ එම සභාපතිවරයා ඉවත් කිරීමේ බලය ඇත්තෙත් එහි සෙසු මන්ත්‍රීවරුන්ටයි.
 
ඉතින් එවැනි පුද්ගලයකු ඇයි ඔබ එවැනි තනතුරකට නිර්දේශ කෙරුවේ.
අපි ඒ පුද්ගලයන් කාලා බලලා නැහැනේ. කවුද හිතුවේ ඒ පුද්ගලයා මෙහෙම දේවල් කරාවිය කියලා?
 
ප්‍රාදේශීය සභා ආඥාපනත යටතේ ඒ ඒ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් හි යම් යම් බදු අය කිරීමට නීතිමය බලයක් තිබෙනවාද?
ඔව් එවැනි නීතිමය හැකියාවක් තිබෙනවා. ඒත් මෙතැන තියෙන්නේ බදු අය කර ගැනීමේ ප්‍රශ්නයක් ‍නෙවෙයි. වෙනත් තාක්ෂණික සේවයක් සපයන ආයතනයකට ලැබෙන ආදායමෙන් සියයට 40ක් විල්ගමුව සංවර්ධන අරමුදල සඳහා ලබාගැනීමේදී ඇති වී තිබෙන අක්‍රමිකතාවයකුයි මෙතැන තිබෙන්නේ. ඇත්තෙන්ම එමගින් ලැබෙන ආදායම මතෛක් ගණනය කරලත් නෑ. අපි දැන් තීන්දුවක් ගෙන තිබෙනවා මාසිකව ලැබෙන ආදායම පිළිබඳ ගණන් හිලව් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් කළ යුතුයි කියලා.
 
ඇයි මේ සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට එරෙහිව මෙතරම් චෝදනා නැගී තිබෙන්නේ?
ඔව් ඒක ප්‍රශ්නයක් තමයි. ඒත් ඔවුන් තමන්ගේ පක්ෂයේ ක්‍රියාකාරීන් වීම නිසා හෝ පක්ෂයේ සාමාජිකයන් වීම නිසා හෝ එවැනි අයට ආණ්ඩුවෙන් කිසිම බුරුලක් ලැබෙන්නේ නෑ. ඒ සියලුම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනෙමින් තිබෙන අතරතුර පක්ෂ මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ආණ්ඩුව හැම අවස්ථාවකදීම කටයුතු කර තිබෙනවා.
 
ඔබ ඒ සඳහන් කළේ පක්ෂයේ ප්‍රාදේශීය නායකයන්ගේ ක්‍රියාකාරකම් ගැනනේ. ඊට අමතරව ජාතික මට්ටමේ දේශපාලනඥයන් පවා අද අනේ‍යොන්‍ය වශයෙන් එකිනෙකා විවේචනය කර ගන්නවා, බැණ ගන්නවා.
ඇත්තෙන්ම ඒක ඒ හැටි හොඳ ප්‍රවණතාවක් ‍නෙවෙයි. ඒත් තවත් අතකින් බැලුවමත් ඒක එක්තරා විදියකින් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක්.
කොහොම වුණත් යම් දේශපාලනඥයකුට තවත් සහෝදර දේශපාලනඥයකු පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම් ඒ ගැන පක්ෂ මට්ටමින් කටයුතු කිරීමයි වඩාත් කාලෝචිත වන්නේ. ඒ වගේම තමයි පක්ෂ බහුතරයකින් සමන්විත සන්ධාන ආණ්ඩුවක එවැනි දෑ සිදුවීම ගැන පුදුම වෙන්නත් බෑ. ඒක තමයි සන්ධානයක නියම ස්වරූපය.
 
ඔබත් මඩ දේශපාලනයට සම්බන්ධ කෙනෙක්ද?
නෑ කවදාවත් නෑ. මම පාර්ලිමේන්තුවේදී හැසිරෙන්නේ යම් හික්මීමක් ඇතුවයි.
 
 අද ආණ්ඩුවේ මුල් පෙළේ කැබිනට් ඇමැතිධුර සියල්ලම හිමි වී තිබෙන්නේ වෙනත් පක්ෂවලින් පැමිණි උදවියටයි. ඉතින් ඒ තත්ත්වය පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ප්‍රශ්නයක් ‍නෙවෙයිද?
එහෙම නම් ඉතින් ජනාධිපතිතුමා, අගමැතිතුමා, කථානායකතුමා ඒ සියලුම ඉහළ තනතුරු දරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයන්. අතරින් පතර වෙනත් පක්ෂවලින් පැමිණි උදවියටත් යම් යම් තනතුරු දී තිබෙනවා තමයි. එහෙම නැතුව සන්ධාන ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අමාරුයි. තමන් පක්ෂයේ පැරණි සාමාජිකයෙක් වුණු පළියට කවුරු හරි එහෙම හිතනවා නම් ඒක වැරදියි. මොකද ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා යම් යම් කැප කිරීම් කිරීමටත් සිද්ධ වෙනවා.
 
මධ්‍යම පළාත් සභාවට ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් වී.අයි.පී. වාහන යොදාගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන බවට චෝදනා තිබෙනවා?
ඔව් ඒක ඇත්ත. හැම තැනම වී.අයි.පී. වාහන. ඒක දැන් මොඩලයක් වෙලා. ඒවා අලවා තිබෙන වාහන බොහොමයක් රජයේ වාහන. අපි මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීන්දුවක් ගත්තා මේ පිළිබඳව ආරක්ෂක ‍ලේකම්තුමා දැනුවත් කරන්න. 

විල්ගමුව ප්‍රදේශයේ වැලි ප්‍රවාහනයේ යෙදෙන ලොරි රථ නිසා ජීවිත අනතුරු රැසක් සිදුවුණා. ඒ සම්බන්ධව ඔබ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙසට ගත් ක්‍රියා මාර්ග මොනවාද?
අප පසුගිය රැස්වීමේදී තීරණයක් ගත්තා. වැලි ප්‍රවාහනය සඳහා අවසර දෙන්නේ රාත්‍රී 7 සිට උදේ 6 දක්වා පමණක් බවට එසේම හැම ලොරි රථයකටම ලොරි සහයකයෙක් අනිවාර්යයෙන්ම ලොරියේ සිටිය යුතු බවට. 

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට යටවන ඉඩම් වල ඛනිජ සම්පත් විශාල වශයෙන් විනාශ වන බවත් එමගින් විශාල ආදායමක් ලබාගත හැකි බවත් කියනවා.
එම ව්‍යාපෘතිය යටතේ වටිනා ඛනිජ සම්පත් ප්‍රමාණයක් ජලාශයට යටවෙනවා. ඊට පෙර ඒ සම්පත් නෙලා ගැනීමට රජයේ අවධානය දැනටමත් යොමුවී තිබෙනවා. අප මේ බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී තීන්දුවක් ගත්තා.
සාකච්ඡා කළේ : ආරියපාල වීදාගම

No comments:

Post a Comment