Tuesday 13 August 2013

ජනපතිවරුන් දස දෙනකුගෙන් ප්‍රශ්න අසා නිහඬවම නික්ම ගිය මාධ්‍යවේදිනිය

12-1ජනපතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම වූ කලී ආවාට ගියාට සිදු කළ නොහැකි මනා පළපුරුද්දක්, අවබෝධයකින් හා පසුබිම් දැනුමින් සන්නද්ධව සිදු කළ යුතු සංකීර්ණ ක්‍රියාවලියකි. විශේෂයෙන්ම සිය ජීවිතයත්, රැකියාවත් යන දෙකම බේරාගෙන එවැන්නක් සිදු කිරීමට සමත් මාධ්‍යවේදියෙකු සැබැවින්ම දක්ෂයෙකි. එවැන්නක් සිය මුළු වෘත්තීය ජීවිතය පුරාවටම එනම් දශක පහකට ආසන්න කාලයක් ඉතා සාර්ථක ලෙස සිදු කළ මාධ්‍යවේදිනියක පසුගියදා සිය ජීවිතයෙන් සමු ගත්තාය.
වසර අනූදෙකක් ආයු වළඳා මියයනකල්හි හෙලන් තෝමස් නම් වූ එකී කෘතහස්ත මාධ්‍යවේදිනිය විසින් ඇමෙරිකානු ජනපතිවරුන් දස දෙනෙකුගේ ධුර කාලයන් ආවරණය කර තිබෙන ලද්දේ පිළිතුරු දීමට ඉතා අසීරු ප්‍රශ්න ඇසීමේ අසාමාන්‍ය හැකියාවකින් යුතු මාධ්‍යවේදිනියක ලෙස නමක් දිනාගනිමිනි. රෝගී තත්ත්වයට පත්වන තෙක්ම ධවල මන්දිරයේ ප්‍රවෘත්ති සම්මේලනයන්හි අනිවාර්ය චරිතයක් වූ හෙලන් තෝමස් මාධ්‍ය කලාවට කාන්තාවන් අවතීර්ණ කරවීමේහිලා පුරෝගාමී වූවෙකි.
1920 දී ලෙබනන් ජාතික සංක්‍රමණික යුවළකට දාව කෙන්ටකි නුවර උපන් හෙලන් මාධ්‍ය කලාවට අත්‍පොත් තබන ලද්දේ පාසල් යුවතියකව සිටි සමයේදීමය. ඒ සිය පාස‍ලේ ශිෂ්‍යයන් විසින් ප්‍රකාශයට පත් කළ පුවත්පතකට සිය දායකත්වය ලබා දෙමිනි. පාසල් දිවියට ආයුබෝවන් කී ඇය පළමුව වොෂින්ටන් නුවර කුඩා පුවත්පත් ආයතනයකද ඉන් අනතුරුව යුනයිටඩ් පේ‍රස් ආයතනයේද මාධ්‍යවේදිනියක ලෙස සේවයේ නියුතු වූයේ ජෝන් එෆ්.කෙනඩිගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මාධ්‍ය කටයුතු ආවරණය කිරීමේ අවස්ථාවටද හිමිකම් කියමිනි. කෙනඩිගේ ජනපතිවරණ ජයග්‍රහණයත් සමග ඔහුගේ සුප්‍රකට බිරිය වූ ජැකලයින් කෙනඩි ජනපති ආර්යාව කේන්ද්‍ර කොටගත් පුවත් සඳහා ඇතිවූ ඉහළ ඉල්ලුම හෙලන් හට ධවල මන්දිරයේ පුවත්පත් වාර්තාකරුවන් අතරට එක්වීමට මග සලසාලන ලදී. මීළඟ වසර දහයක කාලය තුළදී වඩාත් සංකීර්ණ සිදුවීම් අරභයා වූ පුවත් වාර්තා කිරීම කෙරෙහි අවධානය යොමු කළ හෙලන් 1970 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ (උ) ධවල මන්දිර කාර්යංශ ප්‍රධානියා ලෙස පත්වන ලද්දේ එකී භාරධුර පත්වීම ලැබූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තා  පිහිටුවමිනි.
12-2
ප්‍රවෘත්ති  සම්මේලන මැදිරියේ ඉදිරි පෙළ මැද අසුනක ස්ථිර හිමිකාරිනියක වූ හෙලන් සිය නිවැරදි ඉලක්කයට එල්ල කරන ලද අභියෝගාත්මක ප්‍රශ්න හරහා රජයේ නියෝජිතයන් සේම ජනපතිවරුන්ද කොතරම් බරපතළ අපහසුතාවන්ට ඇදදැමුවේද යත් වරෙක ඇගේ රසිකයෙකු වූ ධවල මන්දිර මාධ්‍ය ‍ලේකම්වරයකු විසින් ඇගේ ප්‍රශ්න කිරීම් හඳුන්වන ලද්දේ ‘වධ බන්ධනයක්’ ලෙසය.
ඇගේ හිංසාකාරී ප්‍රශ්න ඇසීම්වල අනුකම්පා විරහිත ගොදුරක් බවට පත් වූයේ හිටපු ඇමෙරිකානු ජනපති ‘ජෝර්ජ් ඩබ්. බුෂ්’ බව සැකයකින් තොරව කිව හැක. ඉරාක යුද්ධය මුල්කර ගනිමින් අභියෝගාත්මක හා ප්‍රහාරාත්මක ප්‍රශ්නවලින් නිතර දෙවේ‍ලේ තමන් විසින් පීඩාවට පත් කරන ලද බුෂ් යනු තමා එතෙක් දුටු නරකම ජනපතිවරයා ලෙස හඳුන්වා දුන් හෙලන් තෝමස් ඔහුගෙන් ප්‍රශ්න අසනු ලැබූ අන්දම සාධාරණීකරණය කරමින් වරෙක කියා සිටින ලද්දේ බුෂ් වැන්නෙකුට සැලකිය යුතු අන්දමට විනා අන් අසාධාරණ ක්‍රියා කලාපයක් තමා විසින් ඔහු සම්බන්ධයෙන් අනුගමනය නොකළ බවයි. 1982 දී සිය සැමියා වූ ඇසෝසියේටඩ් පේ‍රස්  ආයතනයේ ධවල මන්දිර ප්‍රධාන වාර්තාකරු ලෙස සේවය කළ ඩග්ලස් කෝර්නෙල්ගේ මරණයෙන් පසුවද අඛණ්ඩව මාධ්‍ය වෘත්තියේ නියැළුණු හෙලන් අවස්ථා ගණනකදීම විවිධ කඩඉම් ජයගත් ප්‍රථම කාන්තාව වීමේ විරල භාග්‍යය හිමිකර ගත්තියකි. ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ  පළමු කාන්තා සභාපතිනියද “ග්‍රිඩ් අයන්” සමාජයේ පළමු කාන්තා සාමාජිකාවද පමණක් නොව, රිචඩ් නික්සන් ජනපතිවරයා චීනයේ නියැළුණු ප්‍රථම සංචාරයට එක්වූ එකම මුද්‍රිත මාධ්‍ය වාර්තාකාරිනිය වන්නේද හෙලන් තෝමස්ය. මාධ්‍ය වාර්තාකරණය තුළ කාන්තා නියෝජනය ඉහළම ස්ථරයකට නංවාලූ මාධ්‍යවේදිනියක ලෙස පුරෝගාමී සේවයක් ඉටු කළද හෙලන් තෝමස් හට 2010 වසරේදී මාධ්‍ය වෘත්තියට සමු දීමට සිදු වූයේ ඇය විසින් ඊශ්‍රායල ජාතික යුදෙව්වන් සම්බන්ධයෙන් වැඩිදුර නොසිතා සිදු කළ විවාදාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඇගේ කීර්ති නාමයේ යම් පළුදුවීමත් සමගද වීම අභාග්‍යයකි. පසුව ඒ සම්බන්ධයෙන් ඇය සිය දැඩි කනගාටුව පළ කිරීමට තරම් නිහතමානී වී තිබිණි. ධවල මන්දිරයේ ‍‍‍ජ්‍යෙෂ්ඨම ප්‍රවෘත්ති වාර්තාකාරිනිය ලෙස ජනපතිවරයාට ස්තූති කරමින් සෑම ප්‍රවෘත්ති සම්මේලනයක්ම අවසන් කිරීමේ වරප්‍රසාදය හිමි වූ හෙලන් තෝමස් පසුගිය ජූලි 20 දා ලොවෙන් සමුගන්නා ලද්දේ ඇයට කෘතඥ වීමට සමස්ත ලෝකයාටම ඵලදායීි වූ යමක් ඉතිරි කර තබමිනි.
ප්‍රියන්ති රුද්‍රිගු

No comments:

Post a Comment