Thursday 15 August 2013

පළමුව කැලණිය - දෙවනුව ජීවිතය..... මර්වින් සිල්වාට කැලණියට තහනම්

මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියේ දේශපාලනය අතහැර යන්නේ නැහැම කියනවා. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මම කැලණියේම තමයි කියනවා.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මර්වින් ඇමැතිවරයාට කැලණියේ දේශපාලනයට
එන්න ඉඩදෙන්නේ නැහැම කියනවා. පළමුව කැලණිය දෙවනුව ජීවිතය කියන ස්ථාවරයේ සිටයි අපි මර්වින් ඇමැතිවරයා ප්‍රතික්‍ෂේප කරන්නේ කියනවා.

අපි මේ පිළිබඳ පසුගිය දිනෙක මර්වින් ඇමැතිවරයාගෙන් අදහස් විමසුවා.
මම ටික දිනකට මාධ්‍යයට උත්තර දීම නතර කරලයි තියෙන්නෙ ඔහු පැවැසුවා.
ටික දිනක් ගතවීමෙන් පසු මර්වින් ඇමැතිවරයාත් උත්තරයක් දේවි. අපි බලාපොරොත්තු වෙනවා.
සභාපති ප්‍රසන්න රණවීර මහතා මේ ආකාරයේ කතාවක් කළා.

මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණියට ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව සමස්ත දේශපාලනයටම නොසුදුසුයි. නැවැත කැලණියේ ශ්‍රී ල.නි.ප. සංවිධායක ධුරය ඉල්ලන්නවත්, ඔහුට කැලණිය ඕනෑමයි කියන්නවත්, මර්වින් ඇමැතිවරයාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.
මර්වින් ඇමැතිවරයාගෙන් කැලණිය නිදහස් කර ගැනීමට මාත් මගේ කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් 12ක කණ්ඩායමත්, කැලණියේ බහුතර ජනතාවත්, මෙතෙක් පෙළගැසී සිටියා වගේම ඉදිරියටත් පෙළගැසී සිටිනවා. ප්‍රථම තැන කැලණියට, දෙවැනි තැන ජීවිතයට කියන තැන සිටයි අපි කැලණියේ දේශපාලනය කරන්නේ. කැලණියේ උපන් අපට කැලණිය පිළිබඳ ලොකු ආදරයක්, කැක්කුමක් තියෙනවා.

මර්වින් ඇමැතිවරයා මම කැලණිය දාල යන්නේම නැහැ. මම මැරෙන්නෙත් කැලණියේම කියා කියන්නේ කැලණි පුරවරයටත්, කැලණි ජනතාවටත් ඇති ආදරය නිසා නොවෙයි. කැලණිය ව්‍යාපාරික ජනතාවගෙන් රැස්කර ගතහැකි කප්පම්වල රස දන්නා නිසයි.
හසිත මඩවල අපේ සහෝදර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ ඝාතනයෙන් පසු ජනාධිපතිතුමා විසින් මර්වින් ඇමැතිවරයා කැලණිය ශ්‍රී ල.නි.ප. සංවිධායක ධුරයෙන් ඉවත් කළා. එසේ ඉවත් කළේ කැලණියෙන් ඔහුට එරෙහිව ගොඩනැඟුණු බලවත් විරෝධය නිසයි. එම ඉවත් කිරීමෙන් පසු අපිත් කැලණි ජනතාවත්, ව්‍යාපාරික ප්‍රජාවත් සැනසුම් සුසුම් හෙළුවා. දැන් ඔහු නැවැතත් කැලණිය ඉල්ලා හොල්මන් කරන්න පටන් අරගෙන. අපි කිසිසේත්ම එයට ඉඩ දෙන්නේ නැහැ.
කැලණිය කියන්නේ උගත් බුද්ධිමත් ප්‍රජාවක් වෙසෙන ඓතිහාසික පූජා භූමියක්. කැලණියේ දේශපාලන ඉතිහාසය පුරාම කැලණි බිමේ දේශපාලන නායකත්වය ගත්තේ සමාජ තලයේ තම ගරුත්වය ඉහළින්ම රැකගත් අය. දේශපාලනය මුදල් හම්බකරන ව්‍යාපාරයක් කරගන්න ඒ අය පෙලැඹුණේ නැහැ. සර්. ඩී.බී. ජයතිලක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ජී. සේනානායක, ආර්. එස්. පෙරේරා, ජිනදාස නන්දසේන වැනි ශේ්‍රෂ්ඨ නායකයන් කැලණියේ දේශපාලන නායකත්වය ගෙන වරින් වර කටයුතු කළා. ඒ අය කැලණි ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් රැස්කළ අය නොවෙයි. ඒ දේශපාලන නායකයන් පාතාලයො, ගණිකා මඩම් හිමියන්, බාර් හිමියන් රැස්කරගෙන දේශපාලනය කළ අය නොවෙයි. ඒ අය දේශපාලනය කළේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන මහා ජන බලවේගයක් වටා සිටයි. ඒ ශේ‍ර්ෂ්ඨ දේශපාලකයො නම්බුකාර විදියට ජනතාව අතරට ගියා. මොනයම් දේශපාලන පක්‍ෂයක සිටියත් ඒ අය සමාජ ගරුත්වය ඉහළින්ම හිමිකර ගත්තා. එහෙම දෙයක් මර්වින් ඇමැතිවරයා කැලණියට පැමිණීමෙන් පසු අපිට දකින්න ලැබුණේ නැහැ.
තමන්ට අත හිතදුන් දේශපාලන නායක නායිකාවන්ට පවා පරිභව කරමින් දේශපාලන වේදිකාවේ කටහැකර කතා කියන අයෙක් ලෙස ජනතාව මර්වින් සිල්වා හැඳිනගෙන තියෙනවා.

 ශ්‍රී පති සූරියආරච්චි මහතාගෙන් හිස්වූ කැලණියේ ශ්‍රී ල.නි.ප. සංවිධායක ධුරයට මර්වින් සිල්වා පත්වනවාට බහුතරයක් කැලණියේ ජනතාව කැමැත්තක් දැක්වුවේ නැහැ. එසේ කැමැත්තක් නොදැක්කුවේ මර්වින් සිල්වාගේ දේශපාලන චරිතය පිළිබඳ ඒ අය යම් දැනුමක් ලබාසිටි නිසයි.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අපි ගෞරව කරනවා. ඔහු අපේ පක්‍ෂයේ නායකයා. රටේ නායකයා. එතුමා විසින් කැලණියේ ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ධුරය පිරිනමා කැලණියට එවූ 'මර්වින්' අපි හදවතින්ම
පිළිගත්තා. අපි කැලණිය පුරාම යමින් කැලණිය ජනතාවට ඔහුව හඳුන්වා දුන්නා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයක් ලබන්න අපි මන්ත්‍රි කණ්ඩායම බොක්කෙන්ම උදව් කළා.

 ඔහුගේ බලය ශක්තිමත් වෙන්න වෙන්න ඔහු කළේ කැලණිය ප්‍රාදේශීය සභාවේ නීතිමය කටයුතුවලට පවා අයුතු ලෙස මැදිහත් වෙමින් එහි සම්පත්ද සූරා කෑමට උත්සාහ දැරීමයි. එම තත්ත්වයට එරෙහි වූ අපට නොයෙක් ආකාරයේ බොරු චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ඔහුගේ මැර බලයෙන් අපව යටත්කර ගන්න උත්සාහ ගත්තා. සැබෑ කැලණි පුතුන් ලෙස අපි ඒවාට යටත් වුණේ නෑ.

 හසිත මඩවල මන්ත්‍රිවරයාගේ ඝාතනයත් සමඟ මර්වින් කැලණියට එපා කියන ජනතා හඬට ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නා. ඒ අනුව ජනාධිපතිතුමා ඔහුව කැලණියේ ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත් කළා. ඉල්ලා අස්වන ලෙසට බල කළා.
හසිත මඩවල මන්ත්‍රිවරයාගේ ඝාතනය පිටුපස සිටින්නේ කවුද කියා සමස්ත කැලණි ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසී බුද්ධිමත් ජනතාවම දන්නවා.
මෙම හසිත ඝාතනය සම්බන්ධයෙන් එදා දවස මර්වින් ඇමැතිවරයාගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ සරත් එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

 එසේ සිදුවී මාස 6ක් ගතවීමටත් පෙරාතුව ඔහු නැවැත කැලණියේ සංවිධායක ධුරය ඉල්ලනවා. මම කැලණිය අතහැර නොයන බව කියනවා. මම මැරෙන්නෙත් කැලණියේ කියනවා. මේක මර්වින්ගේ විලිලැජ්ජා නැති කතාවක්. එමෙන්ම ඔහුගේ අකටයුතුකම් හෙළි කරන අනිකුත් කැලණි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ ජීවිතවලටද තර්ජනයක්. මර්වින් ඇමැතිවරයා නැවැතත් කැලණියේ සංවිධායක ධුරය ලබාගෙන කැලණියට ආවොත් අවාසනාවන්ත දේශපාලන කාල පරිච්ඡේදයක සටහන් කැලණි ඉතිහාසයට එක්වීම නියතයි.

මඩවල ඝාතනයේ සැකකරුවෙක් වන මර්වින් ඇමැතිවරයාගේ හිටපු පාර්ලිමේන්තු ලේකම් සරත් එදිරිසිංහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ වාස් ගුණවර්ධනට කප්පම් දුන් බව ඔහුම කියනවා. අදත් මේ සරත් එදිරිසිංහ මර්වින් ඇමැතිවරයා පිටුපස සිටිනවා.
මර්වින් ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් 'පිබිදෙන කැලණිය' නමින් අටවාගත් සංවිධානය මඟින් කැලණියේ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්‍ෂ 1,000කට වැඩි මුදලක් එක්රැස් කරගත්තා. ඒ මුදල්වලට මොකද වුණේ කියල අදත් අබිරහසක්.

 මර්වින් ඇමැතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල්, දේවස්ථාන, පාසල්වලට රජයේ මුදල්, භාණ්ඩ පරිත්‍යාග බෙදමින් ගියත් ඒ එකම උත්සවයකටවත් එම මැතිවරණ කොට්ඨාසවල ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායකවරු එන්නේ නැහැ. එසේ නොඑන්නේ මර්වින් ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ඒ අය දැනුම ලබාසිටින නිසයි.
සෑම රජයක් යටතේම කැලණියේ හිටපු මැති ඇමැතිවරුන්ගෙන් කැලණියේ ජනතාවට රජයේ රැකියා අවස්ථා බොහොමයක් ලැබුණා. වැඩිම රජයේ රැකියා සංඛ්‍යාවක් ලබාදීම වාර්තා වන්නේ වර්තමාන රජය යටතේයි. එහෙත් මර්වින් ඇමැතිවරයා අතට පත්වුණු රැකියා අවස්ථාවලට මොකද වුණේ එයත් අබිරහසක්.

 බොරු රඟපෑම් කරල රතුපස්වල සිද්ධිය අවුල් කළෙත් මර්වින් ඇමැතිවරයායි. ඒ චෝදනාවත් මර්වින් සිල්වා ඇමැතිවරයාට සතරවටින්ම එල්ලවෙලා.
මර්වින් ඇමැතිවරයා හොඳට බුදු බණ දන්නා අයෙක් ලෙස අපද දැනුම්වත් කර තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කර තියෙන්නේ කිසිම කෙනෙක් මැරෙන දවස, මැරෙන තැන, මැරෙන වෙලාව නොදන්නා බවයි. මර්වින් ඇමැතිවරයා කියන්නේ මම මැරෙන්නෙත් කැලණියේ, මගේ අළු ටික පාකර හරින්නෙත් කැලණියේ කියල.
සැබෑ බුදු බණට අනුව නම් මර්වින් ඇමැතිවරයාගේ කියමන කියන්නන් වාලේ ජනතාව රැවටීමට කියන දෙයක් මිස සැබෑවට කළ හැකි දෙයක් නෙවෙයි.
මර්වින්ගෙන් ගලවාගත් කැලණිය නැවැත ඔහුටම දී කැලණිය විනාශ කරන්න අපි ඉඩදෙන්නේ නැහැ.

No comments:

Post a Comment