Wednesday 14 August 2013

හිරට යට ඇඳුම් අඳින පිරිමින් වඳ භාවයට පත්වන්නට පුළුවන්


under-wereඔබ මේ වනවිට ලිංගික අධ්‍යාපනික ලිපි පෙළ යටතේ ස්ත්‍රී මෙන්ම පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳවත් මනා දැනුමක් ලබාගෙන ඇතැයි අපි සිතමු. ස්ත්‍රියකගේ ඩිම්බ මෙන්ම පුරුෂයෙකුගේ ශුක්‍රාණු ද නිෂ්පාදනය වන ස්ථාන පිළිබඳවද ඔබ මේ වනවිට දැනුවත්ව සිටී.
මෙවර ලිපියෙන් ශුක්‍රානු නිෂ්පාදනය වන ප්‍රමාණයන් සහ එහි ස්වභාවය පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අදහස් ගෙන ආවේ මෙසේයි.

ශුක්‍රාණු නිෂ්පාදනය වන්නේ වෘෂණය තුළ පිහිටි ශුක්‍රජනක නාල තුළයි. එක් වෘෂණයක් තුළ ලොබියුල (Lobules) 300ක් පමණ තිබෙනවා. මේ තුළ ශුක්‍ර ජනක නාල එකේ සිට හතර දක්වා වූ ප්‍රමාණයක් දඟර ගැසී පවතිනවා. මෙහි තත්පරයකට ශුක්‍රාණු දහසක් පමණ නිෂ්පාදනය වෙනවා. එමෙන්ම වෘෂණ තුළ දිනකට ශුක්‍රාණු කෝටි 10 ක් පමණ නිෂ්පාදනය කරනවා.

ලිංගික සංසර්ගයේදී පුරුෂයා විසින් ස්ත්‍රියගේ යෝනි මාර්ගයට එක්වරකදී ශුක්‍රාණු කෝටි 30ත් 50ත් අතර ප්‍රමාණයක් මුදා හරිනු ලබනවා. එක් සුරතාන්තයකදී පුරුෂයා විසින් පිට කරණු ලබන ශුක්‍ර තරල ප්‍රමාණය මි.ලී. 5ක් හෙවත් තේ හැන්දක තරම් වූ ප්‍රමාණයක් වෙනවා.

පියාගේ ප්‍රවේණික ලක්ෂණ සහිත ශුක්‍රාණු මවගේ ප්‍රවේණික ලක්ෂණ රැගත් ඩිම්බ සමඟ මුසුවීම පහසු වීම සඳහා ඉස්ගෙඩියෙකුගේ හැඩයෙන් ඉතාම සැහැල්ලු ලෙස ශුක්‍රාණු නිර්මාණය වී තිබෙනවා.

sex-life-14813-1
වෘෂණ තුළ පිහිටි ශුක්‍ර ජනක නාලවල නිෂ්පාදනය වන ශුක්‍රාණු, අපිමුවකෙහි තැන්පත් වීමෙන් පසු ලිංගික ක්‍රියාවලියේදී ඇතිවන සුරතාන්තයත් සමඟ ශුක්‍ර නාලය තුළට මුදා හරිනවා. එසේ මුදා හරිනු ලබන, ශුක්‍ර තරලය ශුක්‍ර නාල දිගේ පැමිණ මුත්‍රා මාර්ගයට පැමිණෙනවා. ඉන් පසු මුත්‍රා මාර්ගය දිගේ පැමිණෙන ශුක්‍ර තරලය මුත්‍රා විවිරයෙන් පිටතට පැමිණෙනවා.

පුරුෂ හෝමෝන හෙවත් ඇන්ඩ්‍රොජන් හෝමෝන නිපදවනු ලබන්නේ ශුක්‍ර ජනක නාල අතර ඇති ලේඩින් සෛල (Leydin cells) මඟිනුයි. මේ අතරින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ඉතාම වැදගත් වෙනවා. මේ මඟින් ශරීරයේ වර්ධනය, ශුක්‍රාණු නිපදවීම, ලිංගික ආශාවන් වැඩි කිරීම මෙන්ම ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කිරීමද කෙරෙනවා.

ලිංගික ක්‍රියාවලියේ ප්‍රධාන ලිංගික ඉන්ද්‍රිය ලෙස මීට පෙර අවස්ථාවකදී මොළය අපි ඔබට හඳුන්වා දුන්නා. එමෙන්ම වෘෂණ තුළ නිෂ්පාදනය වන ශුක්‍රාණු මෙන්ම හෝමෝනද පාලනය කරනු ලබන්නේ මොළය මඟිනුයි.

මොළයේ පිහිටි හයිපොතැලමසය මඟින් පිට කරනු ලබන හෝමෝන ඊට යටින් පිහිටි පිටයුටිරි ග්‍රන්ථිය උත්තේජනය කරනවා. මේ නිසා LH සහ FSH නැමැති හෝමෝන රුධිරයට මුදා හරිනවා. LH හෝමෝනය රුධිරය මඟින් වෘෂණ වෙත පැමිණ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම උත්තේජනය කරනවා. එමෙන්ම FSH හෝමෝනය ශුක්‍රාණු නිෂ්පාදනය උත්තේජනය කරනවා.

ලිංගික ප්‍රාණවත් වීම මෙන්ම ශුක්‍රාණු පහවීමද ප්‍රතීක ක්‍රියාවක් වෙනවා. Reflex response මෙම ක්‍රියාව පාලනය කරන්නේ සුසුම්නාවේ පහළ කෙළවර පිහිටි විදීමේ මධ්‍යස්ථානය Ejaculatory centre හරහායි. ශුක්‍රාණු පහවීමේ ප්‍රතීක ක්‍රියාව ආරම්භ වන්නේ ලිංගික ක්‍රියාවලිය ආරම්භ වී මද වේලාවකට පසුවයි.

sex-life-14813-2
එක් වරක් ශුක්‍රාණු පහවීමෙන් පසු යම් වේලාවක් යනතුරු ඔහුට නැවත ලිංගික ප්‍රාණවත් භාවයක් ඇති කර ගත නොහැකියි. මෙම කාලය තරුණයන් හා වැඩිහිටියන් සඳහා වෙනස් ආකාරයෙන් බලපානවා.

බොහෝදෙනෙකු ලිංගික එක්වීමකින් පසු යෝනි මාර්ගයට මුදා හැරෙන ශුක්‍රාණු පිටතට පැමිණියා යැයි පසු තැවෙන අවස්ථා මෙන්ම මානසිකව පීඩා විදින අවස්ථාද අපට දැනගන්නට ලැබෙනවා. එක් වරකට ශුක්‍රාණු කෝටි 30ත් 50ත් අතර ප්‍රමාණයක් මුදා හැරෙන නිසා ඉන් යම් ප්‍රමාණයක් පිටතට පැමිණීම දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවන බවද පැවසිය යුතුයි. ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතා පිරිමියෙකුගේ සිරුර තුළ නිෂ්පාදනය වෙනවා. මේ නිෂ්පාදනය වෙන ශුක්‍රාණු අධි ශීත තත්ත්වය යටතේ වසර ගණනාවක් වුවත් ජීවී තත්ත්වයේ තබාගත හැකියි.

එමෙන්ම ශුක්‍රාණු මුදා හැරීමෙන් පසු ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍රාණු ජීවී තත්ත්වයේ පවතින්නේ උපරිම දින 05ක් දක්වා පමණයි.

ශුක්‍රාණු පිටතට පැමිණ වියළි තත්ත්වයට පත් වූ විගස ඒවා ජීවී තත්ත්වයෙන් මිදී මිය යාම සිදු වෙනවා. මේ නිසා බාහිර පරිසරයට මුදා හැරෙන ශුක්‍රාණු සියල්ල විනාශ වී යනවා.

උෂ්ණත්වය වැඩි තැන්වල වැඩ කරන අය මෙන්ම නිරන්තරව හිරට යට ඇඳුම් අදින පිරිමින්ද වඳ භාවයට පත්විය හැකියි. මෙයට හේතු වන්නේද නියමිත උෂ්ණත්වය නොමැති විට ශුක්‍රාණු නිෂ්පාදනය හීනවීමත් අධික උෂ්ණත්වයේදී ශුක්‍රාණු මියයාමත්ය. විශේෂයෙන් හුණු ගල් පෝරණු, බේකරි, දුම් ගෙවල්, ගඩොල් පෝරණු සහ වෙනත් පරිසර උෂ්ණත්වය වැඩි කරවන කර්මාන්තවල වැඩ කරන පිරිමින් නියමිත කාලයේදී දරුඵල ප්‍රමාද වන්නේ නම් මේ පිළිබඳවද සැලකිලිමත් විය යුතු වෙනවා.

No comments:

Post a Comment