Wednesday 14 August 2013

වාස්ගේ පරිගණකයේ තිබුණු දුරකථන අංක තුනෙන් දෙකකම ලියාපදිංචිය බොරු - ස.‍පො.අ. ශානි අබේසේකර අධිකරණයට පවසයි

 

හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ළඟ තිබි රහස් ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යොමුකරන ලද ලැප්ටොප් පරිගණකයේ අඩංගු ජංගම දුරකථන අංක තුනක් පිළිබඳව රහස් ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ
පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ අධිකරණයට දන්වා සිටියේය.
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකාර වාස් ගුණවර්ධන, රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන්  නම දෙනා තවදුරටත් මෙම අගෝස්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (14) නියෝග කළේය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කියා සිටියේ වාස් ගුණවර්ධන සතු ලැප්ටොප් පරිගණකයේ තිබි සොයාගන්නා ලද ජංගම දුරකථන අංක තුනක් පිළිබඳව වැඩිදුර විමර්ශනය කෙරෙමින් පවතින බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යොමුකර ඇති ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබි සොයාගත් දුරකථන අංක දෙකම ලියාපදිංචිය ව්‍යාජ බව හෙළිවී ඇත. වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් මහර අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම දුරකථන අංක පරීක්ෂා කිරීමේදී එක් අංකයක් භාවිත කළ තරංග සංජීව නමැත්තා පවසා ඇත්තේ එම සිම්පත අහුලාගත් එකක් බවයි. රහස් ‍පොලීසිය අධිකරණයට කියා සිටියේ මෙම සිම්පත් කිසියම් උපක්‍රමයකින් ලබාගත් ඒවා බවයි.
වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (14)  ඉදිරිපත් කිරීමෙන් පසු ආපසු රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු.

 අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ සුනන්ද දේශප්‍රිය මහතා මියගිය අයට අයත් වානය මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී. එම වාහනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව ඇති බව රහස් ‍පොලීසිය දැනුම් දුන්නේය. වාහනයේ ලියාපදිංචි හිමිකරුට වාහනය මුදාහැරීමට වාහනයේ පරම අයිතිකරු වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ විරෝධයක් නොමැති බව අධිකරණයට දැනුම් දෙන ලදී.
 ඉන් පසුව මියගිය අයට අයත් එම් 3639 දරණ මෝටර් රථය රුපියල් ලක්ෂ හතළිහක
බැඳුම්කරයකට යටත්ව කොන්දේසි සහිතව මුදාහැරීමට නියෝග කෙරුණි.
 රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ සාක්ෂි සඳහා වාහනය ඉදිරියේදී අවශ්‍ය බැවින් වාහනය සම්බන්ධ වෙනස් කිරීම් කිසිවක් නොකරන ලෙසට නියෝග කරන ලෙසයි. ඒ අනුව වාහනයේ හැඩය හා පාට වෙනස් කිරීම නොකරන ලෙසත් විකිණීම, පැවැරීම, උකස් කිරීම සිදුනොකරන ලෙසටත් නියෝග කෙරුණි.
 මොහොමඩ් සියාම්ගේ බිරිඳ මේ වන විට ආගමික කටයුතුවල යෙදෙන නිසා සියාම්ගේ සොහොයුරු ඒ.එච්.එම්.රිනාස් යන අයට වාහනය මුදාහැරීමට නියෝග කළේය.
 වාස් ගුණවර්ධන, ක්‍රිෂාන්ත කෝරළගේ, ලක්මිණ ඉන්දික බමුණුසිංහ, ප්‍රියන්ත සංජීව, ගාමිණී සරත්චන්ද්‍ර, කැළුම් චන්දන දිසානායක, මහුබ්දීන් මුස්මි, රවිඳු ගුණවර්ධන, දිමුතු ශ්‍රීමාල් හෙට්ටිආරච්චි යන සැකකරුවන් නවදෙනා මෙම 27 දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කෙරුණි.
ඡායාරූප - ප්‍රියන්ත ගමගේ
නිශානී බන්නැහැක / නෙරංජි සුලක්ඛනා
   

No comments:

Post a Comment