Thursday 8 August 2013

නිර්මල සෙන්පති අහිමිව වසර 21යි

කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ දැවැන්ත සටනක යෙදී අවසානයේ රට වෙනුවෙන් දිවි පිදූ අභීත සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රමුඛ ශ්‍රේෂ්ඨ රණවිරුවන් 10 දෙනකු දිවි පුදා අදට (08) වසර 21ක් සපිරේ. ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටීවන්, ලුතිනන් කර්නල් පී.එච්. ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන්. පලීපාන, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර් බී. විජේපුර, මේජර් නලින් ද අල්විස් සහ සෙබළ ඩබ්ලිව්.ජේ. වික්‍රමසිංහ යන වීරෝධාර ‍නායකයෝ 1992 අගෝස්තු 08 වැනිදා පෙරවරු 10.00ට පමණ යාපනය අරාලිතුඩුවේදී දේශය වෙනුවෙන් දිවි පිදූහ.

මුක්‌ති සටන මෙහෙයවීම සඳහා සටන් බිමට පිවිසි අභීත සෙන්පතියෙක් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව  මහතා 1940 ජුලි 27 දා උපත ලද අතර  මවිපියන් වූයේ ලොකු බණ්‌ඩාර කොබ්බෑකඩුව මහතා සහ අයෝනා රත්වත්තේ කොබ්බෑකඩුව කුමාරිහාමි යන දෙදෙනාය. මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයක මට්‌ටම සඳහා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් විය. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1960 මැයි 29 දා ශ්‍රී ලංකා යුද හමුදාවට ඇතුළත් වූ ඒ මහතා බ්‍රිතාන්‍යයේ සෑන්ඩ් හර්ස්‌ යුද අභ්‍යාස ආයතනයේ පුහුණුව ද එරට බොවයින්ටංහි රාජකීය සන්නද්ධ රථ සේනාංක විදුහලේ පුහුණුව ද කම්බර්ලිහි යුද හමුදා කාර්ය මණ්‌ඩල අභ්‍යාස විද්‍යාලයේදී සහ රෝයල් කොලේඡ් හි ඩිපෙන්ඩන්ට්‌ ආයතනයේ පුහුණුවද ලැබූ කොබ්බෑකඩුව මහතා හමුදාවේ සිට අති දක්‍ෂ නිලධාරින්ගෙන් කෙනෙකි. යුද ශිල්පය ගැන අතිවිශිෂ්ට දක්‍ෂතාවයන් දැක්‌වූ මෙම අසහාය යුද වීරයා ක්‍රියාන්විත සේවයේදී රට හා ජාතිය වෙනුවෙන් ඉටු කරන ලද ධෛර්ය සම්පන්න අගනා සේවය වෙනුවෙන් වීර පදක්‌කම් රාශියක්‌ දිනාගෙන තිබුණි.අග්තුංග මානව වාදී බවකින් හෙබි මේ අරුම සෙන්පතියා මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨතම රණවිරුවෙකු වශයෙන් ඉතිහාසයට සිය කීර්තිමත් නාමය තබා ඇත.
කසුන් දිසානායක

No comments:

Post a Comment