Thursday, 18 July 2013

පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුය! – මල්වතු අස්ගිරි මහ නා හිමිවරු කියති

පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු යැයි මල්වතු, අස්ගිරි මහනාහිමිවරු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිසක් සමග ඊයේ (17) පැවසූහ. පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල නොදිය යුතු යැයි ද, එසේ කිරීමෙන් රට කෑලිවලට කැඩී යන්නේයැයි ද මේ ප්‍රශ්නයේදී ඉන්දියාවට හෝ වෙන රටකට හෝ බය වීම අවශ්‍ය නැතැයි ද, 1987 දී අත්සන් කළ ගිවිසුම අවලංගු කළ යුතු යැයි ද උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමියෝ කීහ.
‘පළාත් සභා ප්‍රශ්නයට මුල් වුනේ කවුද, හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා. එදා මහනායක හාමුදුරුවරු ඊට විරුද්ධ වුණා. ඒ අවස්ථාවේ දේශපාලන බලය තර කර ගැනීමට අවශ්‍ය නිසා ජයවර්ධන මහත්තයා ඉන්දියාව සමග එක් වී ගිවිසුමක් ගසා පළාත් සභා ක්‍රමය ඇති කර ගත්තා. ඒත් එදා බොහෝ දෙනා විරුද්ධ වුණේ නෑ. වරද අපේ මිනිස්සුන්ගේ. අද ප්‍රශ්නය ඔඩු දුවලා. උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දුන්නම මහ ආණ්ඩුවට තියන බලය මොකක්ද? රට කෑලි නවයකට කැඩී යාවි. මේ සියල්ලටම හේතුව පක්ෂ නායකයන්ගේ වරදයි. එක එක්කෙනාගේ දේශපාලන බලය තහවුරු කරන්නයි මේ සේරම කරන්නේ. මම කිසිම පක්ෂයකට නෑ. කිසිම දේශපාලනයක් කරන්නේ නෑ. පළාත් සභා ක්‍රමය නැති කර ඒකීය රාජ්‍යක් ඇති කළ යුතුයි’.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනාහිමියන් පැවසූයේ විධායක ජනාධිපති ක්‍රමය, මනාප ක්‍රමය හා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවයි. ඒ සඳහා සියලු දෙනාම එකතු විය යුතු බවත් මහනාහිමියෝ කීහ. මල්වතු මහ නාහිමියෝ මෙසේද කීහ.
‘පළාත් සභා ක්‍රමයේ රටට අහිතකර වගන්ති ඇත්නම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම හොදයි. රටේ මන්ත්‍රීවරු වැඩියි. ජනතාවට වැඩක් වෙන්නේ නෑ. ඒ ඒ අයගේ වැඩ තමයි කරගන්නේ. ඒ නිසා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම තමයි මගේ පෞද්ගලික හැගීම’.
-ලංකාදීප-

No comments:

Post a Comment