දකුණු ආසියා කලාපය තුළ ත්රස්තවාදයට උඩගෙඩි දුන් ඉන්දියාව අද වන විට ජාතිවාදී, ආගම්වාදී හා වර්ගවාදී ත්රස්තවාදයන්ගේ තෝතැන්නක් බවට පත්ව එකී ත්‍රස්තවාදයන්ගෙන් බැට කන තත්ත්වයකට පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පියසිරි විජේනායක මහතා පවසයි.
‘‘ඉන්දියානු රජයට නිසි ආරක්ෂාව සැපයීමට නොහැකි වූ නිසා (07) අලූයම ගෞතම බෝසතුන් බුද්ධත්වයට පත් වූ බුද්ධගයාවට ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය සුළුකොට තකන්න බැහැ. මෙම ප්‍රහාරය එල්ල වූයේ බෞද්ධ බැතිමතුන්ගේ මුදුන්මල්කඩකටයි. මෙහිදී බුද්ධගයා මහාබෝධි විහාර සංකීර්ණය වටා බෝම්බ 09කට ආසන්න ප්‍රමාණයක් පුපුරා ගොස් තිබෙනවා. මෙයින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ බෞද්ධ බැතිමතුන් කිහිප දෙනකු තුවාල ලබා තිබෙනවා. මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි ඒ මහතා කියා සිටියේ.
එදා කොටි ත්රස්තවාදීන් ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන විට, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාවේ යෙදී සිටි බැතිමතුන් වෙඩි තබා ඝාතනය කරන විට මෙරට බෞද්ධ ජනතාව තුළ මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව තුළද දැඩි කම්පනයක් ඇති කළා. එමෙන්ම බුද්ධගයා ත්‍රස්ත ප්රහාරයෙන්ද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව දැඩි සේ කම්පනයට පත්ව තිබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි කුරිරු ත්රස්තවාදයක් වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක වුණා. නමුත් අප ජාතියක් ලෙස එකමිටකට එක් වී නිවැරදි නායකත්වයක් යටතේ 2009දී ඒ කුරිරු ත්‍රස්තවාදය පැරදවූවා.
අපේ රටේ තිබුණ යුද්ධයට කලාපයේ බලවතා වූ ඉන්දියාවේ කිසිදු සහායක් ලැබුණේ නැති බවත් ඔවුන් කළේ කොටි ත්රස්තවාදයට උඩගෙඩි දීම පමණක් බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකාවෙන්, තම කුලී සේනාංකයක් වූ කොටි සංවිධානය පැරදවීමේ පලිය ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා රැගෙන ආවා. ඉන්දියාව ඒ අවස්ථාවේදීත් ඒ බටහිර උවමනාව වෙනුවෙන් පෙනී සිටිමින් කොටි ත්රස්තවාදීන් වෙනුවෙන් කඳුළු සැලූවා.
බටහිර අධිරාජ්‍යවාදය, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව හා තමිල්නාඩු ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනඥයන් පිනවමින් ගිය මන්මෝහන් සිං පාලනය, අද වන විට ඉන්දියාව ත්රස්තවාදයේ තෝතැන්නක් බවට පත් කොට තිබෙනවා. ඉන්දියාවේ මේ ක්‍රියා කලාපය දකුණු ආසියාවේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක්. අද ඉන්දියාවේ මේ බටහිර පිනවීම සහ බෙදුම්වාදී ත්රස්තවාදයට උඩගෙඩි දීමේ වැරදි සහගත දේශපාලන ගමන නිසා අද එම රට තුළ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ගැටුම් ඇති වීම වළක්වන්න බැහැ.
මෙහිදී මෙම ත්‍රස්ත ප්‍රහාරය හා බැඳුණු තවත් කරුණක් ගැන ඔබගේ අවධානය යොමු කරවන්න කැමතියි. බුද්ධගයා මහාබෝධි විහාර සංකීර්ණය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ. මේ ලෝක උරුමයේ ආරක්ෂාව භාර දී තිබුණේ බිහාර් ප්‍රාන්ත පොලීසියට. ලෝක උරුමයක් රකින්නේ ප්‍රාන්ත පොලීසියක්. ඉන්දීය මධ්‍යම රජයේ පොලීසියට ඊට මැදිහත්වීමට ඉඩ නැහැ. මීට මාස 06කට පමණ පෙර ඉන්දීය මධ්‍යම රජයේ බුද්ධි අංශ දැනුම් දී තිබුණා, බුද්ධගයාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව. නමුත් මේ පිළිබඳ කිසිදු පියවරක් මේ බිහාර් ප්‍රාන්ත පොලීසිය ගෙන තිබුණේ නැහැ.
ඉන්දියාව විශාල ආරක්ෂක බලයක් හිමි රටක්. එහෙත් මේ ප්‍රාන්ත පාලන ක්‍රමය නිසා ඉන්දියාවට තමන් සතු පොලිස් බලය නිසි අන්දමින් ක්‍රියාත්මක කරන්න බැහැ කියලා පැහැදිලිව පෙනෙන බව ද ඔහු පවසා සිටියා. අපේ රටේත් මේ අවස්ථාවේදී පොලිස් බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් කතා කෙරෙනවා. ඉන්දියාව අපට පොලිස්, ඉඩම් බලය උතුරු පළාත් සභාවට දෙන ලෙස බල කරනවා. ඒත්, පොලිස් බලතල ප්‍රාන්ත, පළාත්වලට ලබා දුන්නාම සිදු වන දෙය. මේ ඉන්දීය පන්නයේ පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුන්නොත් උතුරු, නැෙ`ගනහිර ලෝක බෞද්ධ උරුමයන්ට සිදු වන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති බව ද ඔහු මෙහිදී කියා සිටියා.
බටහිර උවමනාවට දෙමළ ඩයස්පෝරාවේ තමිල්නාඩු බෙදුම්වාදී, ජාතිවාදී දේශපාලනඥයන්ගේ උවමනාවට ඉන්දියාව ත්රස්තවාදයේ තෝතැන්නක් කළ වත්මන් ඉන්දීය පාලකයන් දැන්වත් ත්‍රස්තවාදය පැරදවීම සඳහා පියවර ගත යුතුයි. ත්රස්තවාදයට නිවැරදිව මුහුණ දී පරදවන්නේ කෙසේද? යන පාඩම ඔවුන්ට තම අසල්වැසියා වූ ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගත හැකියි. එසේ කටයුතු කර හෝ දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය මැඩ පැවැත්වීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
No comments:
Post a Comment