Monday, 15 July 2013

දයාසිරි,පාලිත,අශෝක, එ.ජා.ප ය දිනවන්න පොරොන්දු වුණා - එක්සත් ජාතික පක්ෂය කියයි



වයඹ පළාත් සභා මැතිවරණයේදි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දයාසිරි ජයසේකර සහ අශෝක අබේසිංහ යන මහත්වරුන් ඇතුළු සෑම දෙනාම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරිම සඳහා ඇප කැපවී ක්‍රියා කිරිමට සහතික වි ඇතැයි එක්සත් ජාතික පක්ෂ මැතිවරණ සම්බන්ධිකරණ කමිටුව පවසයි.
එක්සත් ජාතික පක්ෂ උපනායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වයඹ පළාත් සභා මැතිවරණ සම්බන්ධිකරණ කමිටුවට එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානි මංගල සමරවීර සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරු ඇතුළත් වෙති.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මතු කරමින් අසමගිය ගැටුම සහ අවිශ්වාසය ඇතිකර වයඹ පලාත් සභා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කර ආණ්ඩුවේ ජයග්‍රහණය තහවුරු කිරිමට ක්‍රියාත්මක වු අවස්ථාවාදි දේශපාලන කුමන්ත්‍රණ සියල්ල පරාජයට පත්ව ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.
සියළු වාද භේද සහ අසමගිතා අතහැර වයඹ පළාත් සභා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරිමට සියළු දෙනාම ඇපකැපවී සිටින නිසා බිය සැක පසෙක තබා ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස සටන ආරම්භ කරන්නැයි සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment