Tuesday 19 November 2013

අධිවේගීයේ බස් රථ සැප හා ආරක්ෂාව අඩු කල නිසා,අධිවේගී බස් වරණයට ලක්වෙයිද?

"දීර්ඝ කාලයක් පුරා රට තුල පැවති යුද්ධය නිමා කොට ආසියාවේ ආශ්චර්ය බවට මෙම රට පත් කිරිමට රජය විසින් ගනු ලබන උත්සහය මා මහත් කොට අගය කරමි. අධීවේගී මාර්ග , වරාය , ගුවන්තොටුපොලවල් ඉදි වෙමින් අප රට සංවර්ධනයේ ඉනිපෙත්තට පියවරෙන් පියවර ගොඩවදිනු බලා මා අවංකවම සන්තෝෂ වෙමි.

එහෙත් භෞතික සංවර්දනයට සමගාමිව මිනිසුන්ගේ ආකල්ප වර්දනය කරීම පවතින රජයේ වගකීමකි. කොපමණ කීවත් කූඩැල්ලා මෙට්ටයේ තැබීමට බැරිවා සේ අප මිනිසුන් ද යන්නේ අගාදයටමය. ස්වයං විනයක් හැදියාවක් නොමැති මිනිසුන් විසින් මේ රට නැවත කිළිටි කිරිමට උත්සහ කරයි.

පසුගිය දා දක්ෂිණ අධිවේගයේ බස් රථ සේවා ගමනේ යෙදුනු මට එය මනාව දැක ගත හැකි විය. අධි සුඛෝපභෝගී සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන්නේ අප රටේ අයට පමණක්ම නොව විදේශිකයන් ද විශාල ලෙස මෙම බස් රථ වල ගමන් කරති. එහෙත් කණගාටුවකට කරුන නම් මුලදී තිබු ගුණාත්මක බව දැන් ටිකෙන් ටික එහි පිරිහෙමින් පවති. මා ඇසින් දුටු සියල්ල හැකි අයුරින් මාගේ ජංගම දුරකථනයෙන් ජායාරූප ගත්තෙමි.

මා ගොඩ වී අසුන් ගත් අසුන ඉදිරියේ ඇති බාහාලුමේ වමනය දැමු වමන පැකට් එකක් විය. එය ඉවත් කිරිමට බසයේ කොන්දොස්තර හෝ කිසිවකු උත්සහ දරා නැත. අධිවේග බස් රිය ගමන් ගත්තේ පැයට 100 Kmh වේගයෙන් බව නිසැකය. එහෙත් රියදුරු හැරුණු කොට මුළු බස් රියේම ආසන පටි පැළද සිටියේ මමත් මාගේ බිරිදත් බව මා හට නිසැකය. කුඩා දරුවන් දෙදෙ‍නෙකු ගමන් කරන බස් රථයේ ඇවිදිමින් සිටියේය. අධිවේගයක සිදු වු බස් රිය අනතුරු අප රටේ අයට තවමත් අත්දැකීමට ලැබී නැත. එසේ වුවා නම් ඔවුන් අනිවාර්යෙන්ම පටි පළදිනු ඇත. පටි පළදින ලෙසට කිසිදු උපදෙසක් කොන්දොස්තරගෙන්ද ලැබුණේ නැත. මෙතෙක් බස් රථ වල පැවති BUS TV සේවාව නවතා දමා ඒ වෙනුවට පිටතින් සවි කරනු ලැබු ස්පීකර් මගින් අමිහිරි බයිලා , නන්ස්ටොප් සංගීතය වාදනය වෙයි. වායු සමීකරණ වල කවුළු කවුරුන් හෝ කඩා දමා ඇත. එම කවුළු වලට පත්තර පිටු ගුලිකර ඔබා ඇත.බස් රථ සේවාව ඇරඹු දිනයේ සිට රථයේ ආසන තිර රෙදි පිරිසිදු කර නැති තරම්ය. ඒවා ඒ තරමටම කිළිටිය. බස් රථයේ ඉදිරිපස දේවාලයක් මෙනි. සියලු දෙවියන්ගේ ජායාරූප අරක් ගෙන සිටි.
මේ සියල්ල කිළිටි කර ඇත්තේ අප මිනිසුන් විසින්මය. ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මෙම සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් උපදෙස් දී බැරි නම් නීති දමා හෝ මිනිසුන්ගේ හැදියාව ඇති කල යුතුය. නොඑසේ නම් අධිවේගී අධි සුඛෝපභෝගී බස් සේවාවත් 138 පිටකොටුව බස් සේවාවත් අතර ලොකු වෙනසක් නොවනු ඇත"

No comments:

Post a Comment