Thursday 11 July 2013

මේ වාගේ තේරීම් කාරක සභාවක් මීට කලින් දැකලා නෑ - රනිල්

පළාත් සභා බලතල පිළිබඳ ප‍්‍රශ්න විසඳිය හැකි මාර්ගයක් මේ රටේ ජනයා පැහැදිලිව පෙන්වා දී තිබෙන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ස්වාධීන පොලිසියක් සහ ස්වාධීන රාජ්‍ය සේවකයන් ලබාදී අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමෙන් එම සියලු ප්‍රශ්න වලට විසදුම් ලැබෙන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
ඊයේ ජාතික සේවක සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් සමග පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වු විපක්ෂ නායකවරයා
“අප සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුව තිබියදී ආණ්ඩුව ඒ සියල්ල පසෙක තබා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කරනවා නම් අපේ ප‍්‍රතිචාරය අප ඊට දිය යුතුයි.17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ඇති කර නීතිය යටතේ පරිපාලනය කරමින් ස්වාධීන අධිකරණ ක‍්‍රමයක් ලබාදී දූෂණය පිටු දැකීම සඳහා ස්වාධීන කොමිසන් සභාවක් ලබාදීමයි.“

“මේ ජනතාවගේ ප‍්‍රශ්න.... මේ ප‍්‍රශ්න ගැන ආණ්ඩුව කතා කිරීමට සූදානම්ද, නැද්ද? ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුයි. ඒ වෙනුවට සිය අභ්‍යන්තරයේ තිබෙන ප‍්‍රශ්නයක් වන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කර ජනතාව සමග කතා කිරීමට සූදානම් නොමැති වුණාට ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්‍ෂව එරට යවනවා නම් ජනතාව අමතක කරන ආණ්ඩුවක් සමග අපට තවත් කතා කිරීමට තිබෙන්නේ කුමක්ද?“

“13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළ යුතු යැයි කියා සිටි ආණ්ඩුව අප ඒ ගැන කතා කිරීමටත් පෙර බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාව ඉන්දියාවේ නව දිල්ලියට යවා ඒ ගැන ඒ අය සමග කතා කළා. ආණ්ඩුව ඉන්දියාව සමග බැසිල් රාජපක්‍ෂ හරහා මේ ගැන කතා කළාට පසුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට යළි අපට ආරාධනා කරන්නේ කුමකටද? “

“මේ කරුණු කාරණා ගැන කතා කළ යුතු නිසාත්, ඒ වෙනුවෙන් විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී තිබෙන නිසාත් ජුනි මස 12 වැනිදා විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යොමු කරමින් යෝජනා කර සිටියේ, මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු අතර, උතුරු පළාත් සභා මැතිවරණයට පෙර මේ නීති සම්මත කළ යුතු බවයි. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මගේ ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් ලබා දී නැහැ.“
“ජනතාවගෙන් හොරා ගත් අයිතිවාසිකම් යළි ජනතාවටම ලබාදීම සම්බන්ධයෙන් කතා කිරීමට නොහැකි නම් ආණ්ඩුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට අප සහභාගි වන්නේ කුමකටද? කුමක් කතා කිරීම සඳහාද? ඒ අයගේ අභ්‍යන්තර ප‍්‍රශ්න අපට කුමකටද?“
“ඇත්තටම මේ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද කියාවත් මම දන්නේ නැහැ. තේරීම් කාරක සභාවක් නම් ඊට සහභාගි වන ආණ්ඩු පක්‍ෂයේ සහ විරුද්ධ පක්‍ෂයේ අයගේ නම් කථානායකවරයා නිවේදනය කරනවා. විරුද්ධ පක්‍ෂයෙන් මේ වනතුරු එම තේරීම් කාරක සභාව සඳහා සහභාගි වන අයගේ නම් දී නැහැ. එමෙන්ම, ආණ්ඩු පක්‍ෂයේ අයගේ නම් ද මේ දක්වාම ආණ්ඩුව ලබා දී නැහැ.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග‍්‍රස් නියෝජිතයින්ගේ නම්ද, වාමාංශික දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ගේ නම් ද ඉදිරිපත් කර නැහැ. මෙවැනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා මීට පෙර මේ රටේ කි‍්‍රයාත්මක වී නැහැ. අවම වශයෙන් සෑම අවස්ථාවකදීම අදාළ තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයින්ගේ සියලූ නම් ඉදිරිපත් කර තිබෙනවා.“

No comments:

Post a Comment