Monday, 5 August 2013

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 1,428ක් අවතැන්


මධ්‍යම කඳුකරයට පෙරේදා (4දා) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් ඔය, කෙසෙල්ගමු ඔය හා ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් අඹගමුව හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 450කට අයත් සාමාජිකයන් 1,428 දෙනකු අවතැන් වී සිටින බව නුවරඑළිය දිසා ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පවසයි.

අවතැන්වූ පිරිස් වෙනුවෙන් මේ වන විට වටවල, කොටගල, අඹගමුව, රොසැල්ල හා බගවන්තලාව යන ප්‍රදේශයන්හි ස්ථාන 5ක කඳවුරු පිහිටුවා ඇති බවත් ඔවුන් සඳහා පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය. ලක්‍ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන, මාවුස්සාකැලේ, කාසල්රි, කැනියොන්, ලක්‍ෂපාන හා විමලසුරේන්ද්‍ර යන ජලාශ සියල්ලේම වාන් ‍ෙදාරටු පෙරේදා පස්වරුවේ සිට අධික වර්ෂාවත් සමඟ විවෘත කෙරිණි. ඉහළ කොත්මලේ ජලාශයේ වාන් ‍ෙදාරටුද පෙරේදා පස්වරුවේ විවෘත කළ බව එම ජලාශය භාර ඉන්ජිනේරුවෝ පැවැසූහ.

මේ අතර අධික වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටී අවහිර වී තිබූ හැටන්-කොළඹ, හැටන්-නුවරඑළිය, ගිනිගත්හේන-නෝටන්බි්‍රජ්, නෝටන්බි්‍රජ්-හැටන් යන ප්‍රධාන මාර්ගවල හා උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ (5දා) අලුයම වන විට යථා තත්ත්වයට පත්කොට තිබිණි. පැවැති අයහපත් කාලගුණික තත්ත්වය ඊයේ පෙරවරුව වන විට තරමක් පහව ගොස් තිබිණි. පෙරේදා දවස තුළ කැනියොන් ප්‍රදේශයට මි.මීටර් 352ක වර්ෂාවක් වාර්තා වී තිබුණු බව විදුලිබල මණ්ඩලය පවසයි. පෙරේදා පස්වරුවේ පැවැති වර්ෂාවත් සමඟ නෝටන්බි්‍රජ්, විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයද වැසි ජලයෙන් යටවූ බව එහි ඉන්ජිනේරුවෝ පැවැසූහ.
මාවුස්සාකැලේ ජලාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි වාන් ‍ෙදාරටු 3 අඩි 8 බැගින් පෙරේදා විවෘත කළ බව ජලාශය භාර ඉන්ජිනේරුවෝ සඳහන් කළහ.

No comments:

Post a Comment