Wednesday, 21 August 2013

වැලිකඩ සිරගෙදර මහා මිනිස් සංහාරයේ සාක්කි විනාශ කිරීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරිය නවනීදන් පිල්ලේ මහත්මියගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සමග බියට පත්වී සිටින රාජපක්ෂ රෙජීමය තම අපරාධ පිලිබඳ සාක්කි විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුමක යෙදී සිටී.

ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නා රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළ වැලිකඩ සිරගෙදර මහා මිනිස් සංහාරයේ සාක්කි විනාශ කිරීම මේ දිනවල ලහි ලහියේ සිදුකරමින් සිටී. නවනීදන්පිල්ලේ මහත්මිය සිරගෙදරට පැමිණෙනු ඇතැයි දැනගන්නට ලැබී මෙම සාක්කි විනාශය ඉක්මන් කර ඇත.

අඩුම ගණනේ යටත් වූ නිරායුධ සිරකරුවන් 30 ක් පමණ අමු අමුවේ ඝාතනය කළ පසුගිය වසරේ නොවැම්බරයේ සිදුකරන ලද මහා මිනිස් සංහාරයට සම්බන්ධ සාක්කි විනාශ කිරීම දැන් සිදුවේ. ගෝඨාගේ නීති විරෝධී නියෝග මත පැමිණි හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමෙන් බන්ධනාගාරයේ සිදුරු වී ඇති සෑම හිලක්ම වසා දමා එවැන්නක් සිදු නොවුනා සේ තැබීම සාක්කි වසා දැමීමේ වැදගත් පියවරක් ලෙස සලකා ඒ වෙනුවෙන් කටයුතු කරති. බන්ධනාගාරයේ දෙවැනි ප්‍රධාන දොර වන ඉතා ඝණකම් ලෑලි වලින් සාදා ඇති අති පැරණි දොර ද වෙඩි උණ්ඩ වලින් සිදුරු වී ඇති අතර එම දොර ගලවා අලූත් වැඩියා කිරීම ඊයේ සිදු කෙරිණ. එහිදී එම දොරේ වම් පස මැදට වන්නට සිදුරු වී ඇති ස්ථානයක තිබී එල්එම්ජී උණ්ඩ දෙකක් ද හමුවී ඇත. ඒ අනුව එදින ප්‍රහාරයේදී සැහැල්ලූ මැෂින් තුවක්කු වලින් පවා සිරකරුවන්ට වෙඩි තබා ඇති බව හෙළිවේ. මේවා සම්පූර්ණයෙන්ම මානව අපරාධයන් ය.

මේ අතර මේ දිනවල සිරකරුවන්ට සමාව දීමේ කතාවක් ප්‍රචාරය කිරීමද කුමන්ත්‍රණයකි. හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීම ගැන පැවැත්වූ අභ්‍යන්තර පරීක‍ෂණයේදී (මේ පරීක‍ෂණයේ කිසිදු වාර්තාවක් හෙළිදරව් කර නැත) විරුද්ධව සාක්කි දුන් සිරකරුවන් 82 දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර මොවුන් නවනීදන් පිල්ලේ මහත්මිය පැමිණියහොත් ඇය ඉදිරියේ ද සාක්කි දෙතැයි සිතා ඔවුන්ගේ කට වැසීමට මෙම සමාව දීමේ කතාව ඉදිරියට දමා තිබේ. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විඳින මෙම සිරකරුවන් රාජපක්ෂ මිනීමරුවන් විසින් සිදුකළ මහා සංහාරය ගැන ඇසින් දුටු සාක්කි කරුවන් වන අතර ඔවුන් නිදහස් කරන බව පවසා සාක්කි දීම වළකා පෝරම 82 ක් මේ වන විට පුරවා අත්සන් ලබාගෙන ඇත.

No comments:

Post a Comment