Wednesday 7 August 2013

අනුර බණ්ඩාරනායක මහතා, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිණිය අනුර බණ්ඩාරනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. - විපක්ෂ නායකවරයා

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවෙන් අස්වෙද්දී සිදුකළ විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුව නොමග යැවූ එකක් බව පවසමින් විපක්ෂ නායකවරයා අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඊට ධර්මයෙන් සහ අතීත සිදුවීම් වල සාක්ෂි සමග පිලිතුරු දුන්නේය.

දයාසිරි ජයසේකරගේ විශ්වාස වන්ත භාවය ගැන රනිල් වික්‍රමසිංහ විග්‍රහ කෙළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වළාහක වග්ගයේ හතර වන උදක රහද සූත්‍රයේ එන ගාථාවකිනි. "සමහර විට නොගැඹුරු විල් ගැඹුරු වගේ පේනවා. සමහර විට ගැඹුරු විල් නොගැඹුරු වගේ පේනවා. තව සමහර විට ගැඹුරු විල් ගැඹුරු වගේම පේනවා. තවත් සමහර විට නොගැඹුරු විල් නොගැඹුරු විදිහටම පේනවා. පුද්ගලයින් ද එසේ බව එහි කියවෙනවා." යි විපක්ෂ නායකවරයා පැවසීය. ඔහුගේ මනරම් කතාවේ සම්පූර්ණ පිටපත පහත දැක්වේ.

ගරු කතානායකතුමනි,

අද දවසේ මට මේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වනවා.මම මේ කතාව පටන් ගන්නම්, ධම්මපදයේ යමක වග්ගයේ එන පළමු වන ගාථාවේ උපුටනයකින්.

මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන - භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වේති - චක්කංව වහතො පදං


එහි සිංහල අනුවාදය මෙයයි.

චෛතසික ධර්මයෝ සිතේ ඇති වන ගතිහු සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතිහු සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝ ය. සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක 'කිලිටි' සිතින් යමක් කියත් නම්, කරත් නම්, ගැල අදිනා ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලූහුබඳි.

බුදුන් වහන්සේ දෙසා වදාළ ශ්‍රේෂ්ඨ ධර්මය සිහිපත් කරමින් මම ස්ථාවර නියෝග 84 සහ 19 යටතේ අද මේ ප්‍රකාශය කරනවා.

ගරු කතානායක තුමනි,

මට මේ මොහොතේ සිහිපත් වනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ ධූතිය පන්නාසකයේ මහා වග්ගයේ හත් වැනි සූත්‍රයේ එන ගාථාවක්.

ප්‍රශ්න කරනු ලැබූ පුද්ගලයෙක් වෙනත් කතාවකින් අනික් කතාව වසයි ද, කතාව බාහිර පැත්තකට යොමු කරයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරයි ද, ඒ පුද්ගලයා කතාවට යෝග්‍ය නොවේ. යනුවෙන් එහි සඳහන් වනවා. එසේ වුවත් එම පුද්ගලයාගේ ප්‍රකාශයක් මගින් මේ සභාව නොමග යවනු ලැබ තිඛෙන නිසා සත්‍ය හෙළි දරව් කිරීමටයි මේ කරුණු මා ඉදිරිපත් කරන්නේ.

ගරු කතානායකතුමනි,

දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා පසුගිය වසරක කාලය තුළ දී සන්ධාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වූ බව මේ සභාවේ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු බොහෝ පිරිසක් දන්නවා. වයඹපළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටිය දී 2013 වසරේ මුල් භාගයේ දී යළිත් මෙම හිටපු මන්ත්‍රීතුමා ආණ්ඩුවට එකතු වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා. පාර්ලිමේන්තුව තුළ පක්රෑෂ මාරු කොට අමාත්‍ය ධූර ලබා ගැනීම අපහසු නිසා වයඹපළාත් සභා මැතිවරණය පැවැත්වීමත් සමග එහි මහ ඇමැති ධූර අපේක්ෂකත්වය බාර ගැනීමටත්, ඒ සඳහා නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමත් පදනම් කර ගනිමින් සාකච්ඡා පවත්වා තිබුණා. ඒ පිළිබඳව මාධ්‍යවල ද වාර්තා පළ වුණා. නමුත් එම සාකච්ඡා අසාර්ථක වූණා.

දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා පසුගිය වසරක කාලය තුළ දී සන්ධාන ආණ්ඩුවට එකතු වීම සඳහා සාකච්ඡා පැවැත්වීමත්, වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටිය දී 2013 වසරේ මුල් භාගයේ දී එතුමා නැවත ආණ්ඩුවට එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් නිසා ජාතික සේවක සංගමයේ සභාපති ධූරයට එතුමා පත් කිරීම ගැන එහි ප්‍රධානීන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ අනුව පක්ෂය ඇතුළේ වගකීම් සහ තනතුරු මන්ත්‍රීතුමාට දෙන්න අපිට තත්ත්වයක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම එය විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්.

ඉන් පසුව තමා කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂය අත නොහරින බවට වේදිකාවේදීත්, මාධ්‍ය හමුවලදීත්, මාධ්‍යයටත් එම මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී මටත්, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ටත් තීරණ කිහිපයක් ගැනීමට සිදු වුණා.

අනුර බණ්ඩාරනායක මහතා, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිණිය අනුර බණ්ඩාරනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් එවැනි පියවරක් අනුගමනය කරන්නේ ද, නැතිනම් තවත් අවස්ථාවක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අප සාකච්ඡා කළා. පක්ෂය අතනොහරින බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නැවත ප්‍රකාශ කළ නිසා ඒ අවස්ථාව ලබාදීමට මා තීරණය කළ අතර ඒ සඳහා එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැති විනය ක්‍රියාමාර්ග සමථයකට පත් කිරීමට ද අප තීරණය කළා. ඒ වන විට පක්ෂයේ නිලවරණය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයාට විනය පරීක්ෂණ තිබුණා. එම විනය පරීක්ෂණයේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශවලින් සමහර කරුණු අතිශයෝක්තියක් ලෙස විකෘති කර මාධ්‍ය මගින් ඉදිරිපත් කර ඇති බවත්, සමහර ප්‍රකාශයන් තමා විසින්ම කළ බවත් පිළිගෙන තිබුණා. නමුත් එවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇති නොවන පරිදි කටයුතු කිරීමට ඔහු සම්පූර්ණ එකඟත්වය ලිඛිතව පළ කළා. ඒඅනුව විනය පරීක්ෂණ පවත්වා ගෙන යාම අනවශ්‍ය බවට තීරණය කොට පරීක්ෂණ කටයුතු විනය කමිටුව අවසාන කළා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ලිඛිතව ප්‍රකාශ කර ඇති එකඟත්වය මගේ ප්‍රකාශයට ඇතුලූ කිරීම සඳහා 2012. 05. 05 වැනි දින සිරිකොත දී පැවැති විනය පරීක්ෂණ වාර්තාව සභාගත කරනවා.

එහෙත් යළිත් පක්ෂයේ කටයුතු ගැන විවේචනය කිරීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව තව පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව ජුලි 11 වැනි දින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සමග එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා, පක්ෂ විනය මණ්ඩලයේ සභාපති තිලක් මාරපන මහතා, නීති ලේකම් දයා පැල්පොල මහතා සහ නීතිඥ අෂේනද්‍ර්‍ර සෙනෙරත් මහතා පැවැත්වූ සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පුවත්පත් හා විද්‍යූත් මාධ්‍යයන් තමාගේ ප්‍රකාශයන් වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවත්, පක්ෂය හෝ පක්ෂ නායකත්වය විවේචනය කිරීමේ කිසිදු අදහසක් තමා තුළ නොමැති බවත්, කෙසේ වෙතත් තමා විසින් සිදු කරන ලද කිසියම් හෝ ප්‍රකාශයකින් පක්ෂය හෝ පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ මහලේකම්වරයා හෝ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් කියා සිටියා. 2013.07.11 වැනි දින සාකච්ඡාවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ කරුණු ඇතුළත් කිරීම සඳහා 2013.07.15 වැනි දින පැවැති විනය කමිටු රැස්වීමේ තීරණය සභාගත කරනවා.

ඒ වාර්තාව විනය මණ්ඩලයෙන් ජුලි 15 වැනිදා අනුමත කර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ නිර්දේශ පිළි අරගෙන කටයුතු එතැනින් අවසන් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් අදාළ විනය කමිටුවේ වාර්තාව සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් අදාළ සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා අනතුරුව එතුමා සම්බන්ධයෙන් පැවැති විනය පරීක්ෂණ සහ විනය පියවර අවසන් කිරීමට තීරණය කළ බවත්, ඉදිරියේ දී පක්ෂ ව්‍යවස්ථාව සහ විනය රීති මාලාවන් උල්ලංඝණය නොවන ආකාරයෙන් කටයුතු කරනු ඇති බවත්, පක්ෂයේ සියලූ කටයුතුවලට සිය දායකත්වය ලබාදෙනු ඇති බවත් බලාපොරොත්තු වන බව දන්වා 2012.07.18 වැනි දින ලියාපදිංචි තැපෑලෙන් පක්ෂ ලේකම්තුමා විසින් දන්වා යැව්වා. 2012.07.18 දාතම සහිත එම ලිපියේ අදාළ කොටස ඇතුලත් කිරීම සඳහා සභාගත කරනවා. එම ලිපිය පිළිගනිමින් හෝ අභියෝග කරමින් හෝ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පිළිතුරු එවා තිබුණේ නැහැ.

ඊට පසුව ජුලි 18 වන දින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මාවත්, පක්ෂයේ මහලේකම්තුමාවත් මුණගැසුණා. ජුලි 23 වැනි අඟහරුවාදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂකයන් තේරීමේ සාකච්ඡාවටත් එතුමා සහභාගී වුණා. එහෙත් එදා හැන්දෑවේ ආණ්ඩුවේ පැත්තෙන් ලැබුණු පණිවුඩයක් අනුව යමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සියලූ දෙනා විමතියට පත් කරමින් ඊළඟ දවසේ එනම් ජුලි 24 වැනි බදාදා තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන බවත්, වයඹ පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන බවත් කියමින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

ගරු කතානායකතුමනි, මෙහි පවත්නා පුදුම සහගත දේ නම් ජූලි 11 වැනි දා පක්ෂයත්, එහි නායකත්වයත් ලිඛිතව පිළිගන්නා පුද්ගලයා ජුලි 18 වැනි දා වාචිකව ඒ පිළිබඳව තවදුරටත් තහවුරු කරන පුද්ගලයා ජුලි 23 වැනි දා පක්ෂයේ වයඹපළාත් සභා අපේක්ෂකයින් තේරීමට සම්බන්ධ වන පුද්ගලයා ජුලි 24 වැනි දා පක්ෂයත් නායකත්වයත් විවේචනය කරමින් එයින් ඉවත්වීමයි. මේ පුද්ගලයාගේ ගැඹුර සහ විශ්වාසවන්ත භාවය මෙයින් පිළිබිබු වෙනවා.

ගරු කතානායකතුමනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වළාහක වග්ගයේ හතර වන උදක රහද සූත්‍රයේ එන ගාථාවක් මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. ලෝකයේ විල් හතර වර්ගයක් තිඛෙනවා. සමහර විට නොගැඹුරු විල් ගැඹුරු වගේ පේනවා. සමහර විට ගැඹුරු විල් නොගැඹුරු වගේ පේනවා. තව සමහර විට ගැඹුරු විල් ගැඹුරු වගේම පේනවා. තවත් සමහර විට නොගැඹුරු විල් නොගැඹුරු විදිහටම පේනවා. පුද්ගලයින් ද එසේ බව එහි කියවෙනවා.

එදාම පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට විරුද්ධව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඒ ප්‍රකාශය අසත්‍ය නම් මෙම සභා ගර්භය තුළ දී තමන් එය පිළිනොගන්නා බවට ප්‍රකාශයක් කර ඒ චෝදනා සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලා සිටීමට තිබුණා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් අස් වුණේ 29 වැනි සඳුදා. එහෙනම් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණිලා මෙහෙම ප්‍රකාශයක් කරන්න තිබුණා. එහෙම ප්‍රකාශයක් සිදු කළේ නැහැ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නොකර නිශ්ශබ්දව සිටියේ ඇයි? මේ ගැන දැනගැනීම වැදගත් කියා මා කල්පනා කරනවා.

ඇත්ත වශයෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉල්ලා අස්වූයේ නව සම්ප්‍රදායක් ඇති කිරීමට නොව පළාත් සභා මැතිවරණයකට තරග කිරීමට නම් නීත්‍යානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු නිසයි. ගාමිණී ජයවික්‍රම පෙරේරා, පර්සි සමරවීර, එම්.එස්. අමරසිරි, ඩබ්ලිව්.පී.පී.එන්. දසනායක, එස්. බී. නාවින්න, අශෝක වඩිගමංගාව යන මහත්වරුන් ද පළාත් සභා මැතිවරණ සඳහා තරග කිරීමට මේ ආකාරයට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිඛෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සිදු කළේ එම නීතිය පිළිපැදීමයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට එරෙහිව ක්‍රියා කොට පක්ෂයෙන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් සමහර පාක්ෂිකයන් මට දොස් පවරනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මග සලසා දුන්නේ මමයි. 2001 වසරේ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන්නැයි මම පළමු වතාවට ඒ මහතාට ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවසේ දී යෝජනා කළා.

ඒ අනුව එම මැතිවරණයට ඉදිරිපත් වූ දයාසිරි ජයසේකර මහතා අඩුම මනාප ලබා ගනිමින් අන්තිමයා බවට පත් වුවත් 2004 වසරේ මහ මැතිවරණයේ දී යළි තරග කිරීමට අප ඔහුට මග පාදා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර මන්ත්‍රීවරුන් ඊට එරෙහි වුව ද අප ඒ ස්ථාවරයේ සිටියා. කෙසේ නමුත් දයාසිරි ජයසේකර මහතා එම මැතිවරණය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පැමිණියා.

පාර්ලිමේන්තුව තුළ තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයිනුත්, මමත් සෑම අවස්ථාවක්ම ලබා දුන් අතර පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාව පත් කළා. ඒ ඔස්සේ ඔහුට ඉදිරියට පැමිණීමට හැකි වුණේ එක්සත් ජාතික පක්ෂය නිසයි. මා එසේ තීරණ නොගත්තා නම් ඔහුට තවම පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමට හැකියාව ලැඛෙන්නේ නැහැ. ඔහු ඉදිරියට යා හැකි චරිතයක් ලෙස එදා මා දුටුවා.

ගරු කතානායකතුමනි, බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් වහන්සේ අරභයා දෙසා වදාළ කරුණක් මේ අවස්ථාවේ මා සිහිපත් කිරීමට කැමතියි. එනම් උපකාර කරන්නා ද, උපකාර ලබන්නා ද, කෘතවේදියා ද ලොව දුර්ලභ බවයි.

දේශපාලනය වූ කලී ඉවසීමෙන් යා යුතු ගමනක් බව තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීතුමාට නොහැකි වුණා. එවැනි දේ දේශපාලනයේ දී සමහරුන්ට සිදු වෙනවා. අවාසනාවට එතුමාට සිදු වූයේත් එයයි. වියට්නාම් ජාතිකභික්ෂුන් වහන්සේ නමක් වන තිං නා හං ස්ථවිරයන් දෙසූ පරිදි අපට ඇත්තේ ටික කාලයයි. එබැවින් හෙමින් යා යුතුයි.

මේ කරුණු ඉදිරිපත් කරමින් 2013.07.24 වන දින දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී කළ අසත්‍යයෙන් පිරිපුන් ප්‍රකාශය මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

No comments:

Post a Comment