Wednesday 7 August 2013

වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි: මෙම ක්‍රමවේද කිසිවක්‌ ඉටුවී නැහැ. - විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌, රබර් උණ්‌ඩ වැනි දේ පාවිච්චි කර මහජන උද්ඝෝෂණ හෝ පෙළපාලි විසුරුවා හැරීමට ක්‍රමවේද තිබියදී රතුපස්‌වල ජනතාවට භාෂා තුනෙන් අවවාද නොකර වෙඩි තැබුවේ මන්දැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් විමසා සිටියේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

සති දෙකක කාලයක පෙර සිට රතුපස්‌වල ප්‍රදේශයේ හේලීස්‌ වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව අවට ජනතාව තමන්ට පානීය ජලය ලබාදෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. එම උද්ඝෝෂණයෙන් අනතුරුව අගෝස්‌තු 01 වැනිදා වැලිවේරිය නගරය යුද පිටියක්‌ බවට පත්වුණා. එම ප්‍රදේශයේ හමුදාව හා ප්‍රදේශවැසියන් ඇතුළු අවට ජනතාව අතර පැවැති ගැටුම රාත්‍රිය දක්‌වා ඇදී ගියා. ආරක්‌ෂාව පතා පල්ලියට ගිය මහජනතාවටද හමුදා ප්‍රහාර එල්ල කර තිබෙන අතර පල්ලිය තුළත් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. එපමණක්‌ නොව ප්‍රදේශයේ සැරි සරා මාර්ග දිගේ ගොස්‌ අහසට වෙඩි ප්‍රහාර එල්ලකොට තිබෙනවා. මා සමග සාකච්ඡා කළ පිරිස හා මා හමුවුණ පිරිස මෙම වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් පැහැදිලි කළා.

මෙම ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක්‌ පැන නැගී තිබෙනවා. මෙම ගැටුමට සම්බන්ධ තවත් කණ්‌ඩායම් ගණනාවක්‌ සිටින බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියට ආණ්‌ඩුව වගකියන්න ඕන. මෙම ප්‍රශ්නයෙන් ආණ්‌ඩුවට පැන යන්නට බැහැ.

මෙම ප්‍රශ්නය යුද්ධයක්‌ බවට පරිවර්තනය වෙන්නට කලින් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ආණ්‌ඩුව විසඳුමක්‌ සෙව්වේ නැත්තේ ඇයි?

පානීය ජල ප්‍රශ්නය හේතු කොටගෙන බැලුම්මහර ප්‍රදේශයේ දී ද උද්ඝෝෂණයක්‌ පැවැත්වුණා. ඒ උද්ඝෝෂණය අවසන් කිරීමෙන් පසු නුවර මාර්ගයේ ගමනාගමනයට කිසිදු බාධාවක්‌ ඇති වුණේ නැහැ. එසේ නම් වැලිවේරිය ප්‍රදේශයට ඇතුල් වී කලබල ඇති කළේ ඇයි? එම ප්‍රදේශයට හමුදාව ගියේ ඇයි?

වැලිවේරිය ප්‍රදේශයට පොලිසිය යොදවන්නේ නැතිව හමුදාව යෙදවූයේ ඇයි? මෙම ගැටුම සමථයකට පත් කිරීම සඳහා මුලින්ම පොලිසිය යෙදෙව්වේ නැත්තේ ඇයි කියා පැහැදිලි කළ යුතුයි.

මහජන උද්ඝෝෂණයක්‌ හෝ පෙළපාලියක්‌ විසුරුවා හැරීමට ක්‍රමවේද කිහිපයක්‌ තිබෙනවා. පොලිස්‌ කැරලි මර්දන කණ්‌ඩායම යෙදවීම, ජල ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කිරීම, රබර් උණ්‌ඩ වැනි දේ පාවිච්චි කළ හැකියි. වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි. නමුත් මෙම ක්‍රමවේද කිසිවක්‌ ඉටුවී නැති බව පෙනී යයි.

අකිල දිනේෂ් ජයවර්ධන, රවිෂාන් පෙරේරා යන සිසුන් හා නිලන්ත පුෂ්පකුමාර යන අය මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වූයේ නැහැ.

රැකියාවට ගොස්‌ නිවස බලා පැමිණෙමින් සිටි තම මෑණියන්ව එක්‌කර ගෙන ඒමට ගිය අකිල දිනේෂ් ජයවර්ධන ශිෂ්‍යයා එම ප්‍රහාරයට ලක්‌වූ අතර රවිෂාන් පෙරේරා සිසුවා පන්ති අවසන් වී නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම ඛේදනීය ඉරණමට මුහුණදී තිබෙනවා. නිලන්ත පුෂ්පකුමාර රැකියාවට ගොස්‌ නැවත තම නවාතැන්පළට පැමිණෙමින් සිටියදී ප්‍රහාරයට ලක්‌ව තිබෙනවා. රවිෂාන් පෙරේරා සිසුවා මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අවස්‌ථාවක මෙම ප්‍රහාරයෙන් ජීවිතක්‌ෂයට පත්වී තිබෙනවා.

එපමණක්‌ නොව මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන්ද පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.

මෙම ගැටුම වෙනත් කණ්‌ඩායම් උසි ගැන්වුවා යෑයි කීමට තිබෙන සාක්‌ෂි මොනවාද?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුළු රටටම පිළිගත හැකි ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි. පානීය ජලය මුල්කර ගනිමින් ඇතිවූ මෙම ප්‍රශ්නයට වහාම විසඳුම් ලබාදෙන ලෙස මා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ජීවිතක්‍ෂයට පත්වූ අහිංසක පාසල් දරුවන්ගේ හා තරුණයාගේ ජීවිතවලට මුදලින් වටිනාකමක්‌ දිය නොහැකි වුවත් ඝාතනයට ලක්‌වූවන්ට හා තුවාල ලැබූවන්ට සෑහීමකට පත්විය හැකි වන්දි මුදලක්‌ කඩිනමින් ලබාදෙන මෙන්ද මා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ranil

No comments:

Post a Comment