Thursday 8 August 2013

බොලිවුඩ් අහසේ දිලෙන අපේ නාඹර තරුව



Gamya-Wijayadasa-1ලොවම දිග් විජය කළ බොලිවුඩ් පුරවරය එක් නිමේෂයකට තාරකාවලියකටම උපත ලබා දෙන රාජධානියකි. එවන් වූ මේ පුරවරය, රුවින් රංගනයෙන් ප්‍රභාමත් කිරීමට තරම් සුරූපිනියන්ගෙන් ‘ඉන්දියානු සයුරේ මුතු ඇටය’ අඩුවක් නැති දේශයක් වීම සැබැවින්ම සාඩම්බරයකි. මේ ආඩම්බරය ලොවට පෙන්නුවේ අදක ඊයෙක නොවෙයි. වරක් ෆිල්ම් ෆෙයාර් කවරය අපේ මුල්ම නිළි රැජන, ගීත කෝකිලාව රුක්මණී දේවියගේ රුවින් සැරසුණි.
මෑතකදී බොලිවුඩයට එක් වූ සුරූපිනිය ජැකලයින් ෆර්නැන්ඩස්ය. අලුතින්ම බොලිවුඩය ජය ගැනීමට සූදානම් වන්නිය, ගම්‍යා වෛදූර්යා විජයදාසයි.

‘මේ වසර අවසානයේදී විතර මං ප්‍රධාන චරිතය රැගූ ‘චල් ජූතේ’ බොලිවුඩ් සිනමාපටය තිරගතවීමට නියමිතයි. රූගත කිරීම් අපේ‍්‍රල් මාසයේ අවසන් වුණා. වෛද්‍යවරියක් ලෙස රඟපෑවා. ප්‍රධාන නළුවා ඒ රටේ පුංචි තිරයේ අතිශයින් ජනප්‍රිය නළුවෙක්, ෂාලින් බනෝත්.
රූගත කිරීම් සිදු කෙරුණේ තායිලන්තයේ. ලැබෙන විවේකයේදී අපි තායිලන්තයේ ලස්සන තැන් බලන්න ගියා. හරිම විනෝදජනකයි.
තවත් සිනමාපට දෙකකට ආරාධනා ලැබිලා අත්සන් කරලා තියෙනවා. විවිධ චරිත රඟපාන්න ආසයි.

* මේ සිහින පුරයේ ඔබටත් සිහින ඇති?
‘ඔව්. කබි කුෂි කබි ගම්, කුච් කුච් හෝතාහේ, දිල් තූ පාගල් හේ වැනි සිනමාපට නරඹලා තමයි බොලිවුඩයට ඇති කැමැත්ත වැඩි වුණේ. කාජල් - ෂාරුක් මගේ කාලයේ වීරයෝ. ඒ නිසා ෂාරුක් සමඟ වැඩ කරන්න කැමැතියි.
නව පරපුර් අයගෙන් රන්බීර් කපූර්, රන්වීර් සිං සමඟ වැඩ කිරීමට ආසයි.
නිළියන්ගෙන් විද්‍යා බලාන්, අනුෂ්කා ෂර්මා වැනි දක්ෂයන් හා එක් වී චරිත රඟන්න ලැබුණොත් එයත් අපූර්ව අත්දැකීමක් වේවි. අයිශ්වර්යා රායි කුඩා වියේ සිටම වීරවරියක්. ඇය සමඟ රැඟීමත් සිහිනයක්. බොලිවුඩයේ දකින මෙවන් සිහිනවල කෙළවරක් නැහැ.
Gamya-Wijayadasa-8813.-1
* දැනට ලැබී ඇති සුන්දර අත්දැකීම් මොනවාද?
අමිතාබ් බච්චන් මුණ ගැසීම අමතක නොවන අත්දැකීමක්. පුංචි සාදයකදී මට මේ මෙගා තරුව මුණ ගැසුණා. ඔහු මා සමඟ ඉතා නිහතමානීව කතා කළා. කුඩා කාලයේ ඔහු රැඟූ සිනමාපට දැකලා තියෙනවා.
හැබැහිනුත් ඔහුගේ ඒ සුපිරි තරු ප්‍රභාව, මහත්මා ගති එලෙසින්ම දකින්න පුළුවන්.
රිතික් රෝෂන්, ෂහීඩ් කපූර්, අනුෂ්කා ෂර්මා මං යන ජිම් එකටයි එන්නේ. ඒ අය සිනමාවේ දැවැන්තයන්. අපි නැගී එන අය කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එතැනදී එක හා සමානයි. හොඳින් කතාබහ කරනවා.
රිතික්ගේ පියා රාකේෂ් රොෂාන්, අධ්‍යක්ෂ මධූර් බන් දර්කර් මා දන්නා හඳුනන අයයි.
සිනමා රූගත කිරීම්වලදී නම් කියන්න බැරි තරම් අත්දැකීම් තියෙනවා.
මං හිනාව නවත්තගන්න බැරි කෙනෙක්. රූගත කිරීම් ගණනාවකදීම මට සිනාව නවත්වාගන්න බැරි වුණා. මුළු කණ්ඩායමටම නැවත රූගත කිරීම අරඹන්න සිනාව නතර කරනකම් බලා ඉන්න සිද්ධ වුණා. වාසනාවකට අධ්‍යක්ෂවත්, කවුරුවත් කෝපයට පත් වුණේ නැහැ.
ළඟදී රූගත කරපු සිනමාපටයේ පීනන්න තිබුණා. ඇත්තටම මං පීනන්න දන්නෙ නැහැ. ඒත් ඒ බව පෙන්නුවේ නැතිව පීනුවා. දැන් තමයි පීනන්න ඉගෙන ගන්නෙ.

* දැන් බොලිවුඩයේ යම් ස්ථාවරත්වයක් ලබා සිටින ජැකලින් මුණ ගැසුණේ නැද්ද?
තවමත් ඇය මුණ ගැසුණේ නැහැ. ගොඩක් දෙනෙක් මගෙන් ඒ ප්‍රශ්නය අසනවා. ලාංකිකයෙක් විදියට ඇය ලබා ඇති ප්‍රගතිය ගැන සතුටු වෙනවා. සමහරු ජැකලින්ගෙන් උපකාර බලාපොරොත්තු වෙනවා ද අසනවා. එවැන්නක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒත් උපකාරයක් ලැබුණොත් ඒක බෝනස් එකක්. අප දෙදෙනෙක්ම බොලිවුඩය ජය ගත්තොත් ඒක ශ්‍රී ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් වේවි.

* ලංකාවේ සිනමාපටයක රඟපෑමට ඇරැයුම් ලැබුණොත් භාර ගන්නවාද?
ඔව්. හැබැයි ගුණාත්මක සිනමාපටවල පමණයි. මුදල් පස්සේ හඹා යනවාට වඩා හොඳ චරිත නිරූපණයකට කැමැතියි. ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, ජයන්ත චන්ද්‍රසිරි වගේ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න ආසයි.
මං සිරසේ ‘යූත් පල්ස්’ නම් වැඩසටහන ඉදිරිපත් කරනවා. ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් සමඟ සාකච්ඡා කරන්න ලැබුණා. නිළියක් නම් එවැනි අය සමඟ රඟපා තිබිය යුතුයි කියා සිතුණා.

Gamya-Wijayadasa-8813.-2
* බොලිවුඩයේ තාරකාවන්ට පෙම්වතුන්ගෙන් අඩුවක් නැහැ. ඔබේ සිත ආදරයෙන් බැඳී සිටිනවාද?
තවම මට පෙම්වතෙක් නැහැ. එහෙම හිටියා නම් බොරුවට නැහැයි කියන්නේ නැහැ. පෙම්වතකු නැතිකම වෘත්තීය ජීවිතයට වාසියක්.

* බොලිවුඩයෙන් ශ්‍රී ලාංකික තාරකාවකට ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද?
හරිම ඉහළයි. ඉතා සුහදශීලීව, ගෞරවයෙන් ඔවුන් අපව පිළිගන්නවා. අයිෆා සිනමා උළෙලින් පසුව දෙරටේ සබඳතාව වැඩි වෙලා. 

(sarasaviya)

No comments:

Post a Comment