Thursday 8 August 2013

වාස්ගේ පුතා අල්ලන කොටත් හිටියේ මිනීමැරුමක චුදිතයෙක් එක්ක


vaas-son-arrest
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගේ පුත්‍රයා අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනීමැරුම් නඩුවක චුදිතයෙක් සමග සිටියදී බව අණාවරණය වෙයි.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැත්තාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන ඊයේ (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැපිලියාන ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගැණින.

අන්ද්‍රාවාස් ගුණවර්ධනගේ රවිඳු සමීර ද වාස් ගුණවර්ධන නමැති මොහු නො. 62, මයුර මාවත, පැපිලියාන යන ලිපිනයේ පිහිටි දෙමහල් නිවෙසක ඉහළ මාලයේ රැඳී සිටියදී ඊයේ (07) අලුයම 3.00 පමණ රහස් ‍පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයකු වශයෙන් රැඳී සිටි දිමුතු ශ්‍රීමාල් හෙට්ටිආරච්චි නමැති අයකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා ගාල්ල මහාධිකරණයේ විභාග වන මිනීමැරුම් නඩුවක චූදිතයකු බවද පැවසේ.

පැපිලියාන ප්‍රදේශයේ දෙමහල් නිවස වෙත රහසේ ‍පොලිසිය ඇතුළුවන අවස්ථාවේ එහි දොරගුළු දමා වසා තිබි ඇති අතර එම නිවසේ ඉබි යතුරු කඩා දැමූ ‍පොලිසිය එහි උඩු මහ‍ලේ ලැඟුම් ගෙන සිටි මෙම සැකකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවස්ථාවේදී ‍පොලිසියෙන් බේරී පලා යාමට දැඩි උත්සාහයක යෙදී ඇති මොවුන් දෙදෙනා එම ස්ථානයේදී කලබලකාරී ලෙස හැසිරී ඇත.

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනයට අදාළව රවිඳු වාස් ගුණවර්ධන නමැත්තා අත්අඩංගුවට ගත යුතු සැකකරුවකු වන බවට රහස් ‍පොලිසිය මගින් ඉකුත් ජූලි මස 10 වැනි දින අධිකරණයට දැනුම් දී තිබිණි. මොහු මෙම ඝාතනය සඳහා සෘජුවම මෙන්ම පෞද්ගලිකව දායකත්වය ලබා දෙමින් සම්බන්ධ වූ බවට මේ වන විට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවද මෙහිදී ‍පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

මෙලෙස ඝාතනය වූ මොහොමඩ් ෂියාම් නමැත්තාගේ මරණය සිදුකිරීම සඳහා රවිඳු වාස් ගුණවර්ධන නමැත්තා පිස්තෝලයක්ද රැගෙන වෑන් රථයට ගොඩ වූ බවට එම සිද්ධියේ සාක්ෂිකරුවන් විසින් සාක්ෂි ලබාදී තිබිණි. මෙම ඝාතන සිද්ධියට අදාළව රවිඳු ගුණවර්ධන සැකකරුවකු වීම හේතුවෙන් මෙරටින් පිටවීම තහනම් කරමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් වූයේ ඉකුත් (30) වැනිදාය.

රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සඳහා රහස් ‍පොලිසිය විසින් ඔහුගේ දෙහිවල පිහිටි නිවස මෙන්ම ඔහුගේ පෙම්වතිය බව කියන තැනැත්තියගේ නිවස සහ දකුණු පළාතේ ඔහුගේ ඥාතීන්ගේ නිවෙස්වලද, මීගමුව, පුත්තලම, මහනුවර ආදී ප්‍රදේශවල ඔහු සැඟවෙතැයි අනුමාන කළ ස්ථාන කිහිපයකද මෙහෙයුම් සිදුකර තිබිණි. එසේ තිබියදී රවිඳු වාස් ගුණවර්ධන ඉකුත් (05) වැනිදා මෙම පැපිලියානේ පිහිටි ඔහුගේ හිතවතකුගේ නිවසට පැමිණ සැඟවී ඇති බවට රහස් ‍පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (7) අලුයම මෙම මෙහෙයුම සිදු කොට රවිඳු වාස් ගුණවර්ධන ඇතුළු ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා අත්අඩංගුවට පත්ව ඇත.

මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව මේ වනවිට හිටපු නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ඇතුළු පුද්ගලයින් හත් දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඉන් සිව් දෙනකු ‍පොලිස් නිලධාරීන්ද අනෙක් දෙදෙනා සිවිල් අය වෙති.
එමෙන්ම ඉකුත් 2009 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලය ඉදිරිපිටදී එහි ශිෂ්‍යයකු වන නිපුණ රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කරන ලද සිද්ධියට අදාළව රවිඳු ගුණවර්ධන ඇතුළු පුද්ගලයන් 12 දෙනකු විත්තිකරුවන් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබිණි. එම සිද්ධියට අදාළව ද රවිඳු ගුණවර්ධන වරෙන්තුකරුවෙකි.

මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහ හතට අනුව රවිඳු වාස් ගුණවර්ධන රහස් ‍පොලිසිය තුළ පැය 72ක කාලයක් රඳවා ප්‍රශ්න කරමින් සිටින බවත් මොහු සමග අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් පුද්ගලයා අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් ඒ. සහබ්දීන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment