Monday 5 August 2013

රග්බි ශූරතාවලිය නිසා 'ගාල්ලේ තණතිලි විනාශ වෙනවා'


ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රග්බි ශූරතාවලිය
රග්බි, පාපන්දු වැනි තරඟ නිසා තණතිලි විනාශ වන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති
කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය සඳහා ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යොදා ගැනීමට අවසර දීම මගින් ක්‍රීඩාංගණයේ තණතිලි විනාශ වන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.
මෙවැනි විනාශයකින් අනතුරුව ජාත්‍යන්තර මට්ට්මමට තණතිලි යලි සකස් කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවයි, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු වැඩ බලන නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු වන කේඑස් පීරිස් බීබීසී සංදේශයට කියා සිටියේ.
"මේක තනිකර කුඹුරු හානවා වගේ වැඩක් නේ," යනුවෙන් ද ඔහු පැවසීය.
විශේෂයෙන්ම අනෙක් කිසිදු ක්‍රීඩාවක් වෙනුවෙන් ගාල්ලේ ක්‍රීඩාංගනය ලබා නොදෙන ක්‍රිකට් බලධාරීන් කාල්ටන් සුපර් සෙවන් තරඟාවලිය වෙනුවෙන් පමණක් ක්‍රීඩාංගනය ලබා දීම මූල්‍ය විනාශයක් පමණක් නොව ප්‍රදේශවාසී තරුණ පරපුරට කරන අසාධාරණයක් ද බව ඔහු අවධාරණය කරයි.

'ප්‍රශ්නයක් නෑ'

කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය සංවිධානය කරනු ලබන්නේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින්.
"දැන් ගාල්ලේ ආයෙත් කවදද ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ? එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒ වෙලාවට මම උත්තර දෙන්නම්"
ශ්‍රී ලංකා ක්රිඅක්ට් සභාපති, ජයන්ත ධර්මදාස
ශූරතාවලිය පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩාංගනයට හානියක් නොවන බව බීබීසී සංදේශයට කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස එය හඳුන්වා දුන්නේ "ප්‍රශ්නයක් නැති අවස්ථාවක ප්‍රශ්නයක් මතු කිරීමක්" ලෙසින්.
"දැන් ගාල්ලේ ආයෙත් කවදද ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ?," යනුවෙන් ද සභාපතිවරයා සංදේශයට පෙරලා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
"එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒ වෙලාවට මම උත්තර දෙන්නම්."
කෙසේ නමුත් සභාපතිවරයා ගේ එම ප්‍රතිචාරය වගකීම් විරහිත ප්‍රකාශයක් බව විශ්‍රාමික වැඩ බලන ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ගේ මතයයි.
"ටර්ෆ් එකක මැද රගර් ක්‍රීඩාව හෝ පාපන්දු ක්‍රීඩා කිරීමේ දී ටර්ෆ් එකට හානි නොවෙනවා කියන්න නම් එතුමා ක්‍රිකට් ගහල නැති වෙන්න ඕන," යන්න, සභාපතිවරයා ගේ එම ප්‍රකාශයට කේඑස් පීරිස් හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂවරයා පළ කළ ප්‍රතිචාරයයි.
බීකේ පොඩි මහත්තයා, කේජී භද්‍රා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ ගාල්ලේ තරුණ පරපුරට සිය පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රීඩාංගනයක් නොමැති අවස්ථාවක රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පමණක් ක්‍රීඩාංගණයේ දොරටු විවෘත වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ද ඔහු පැවසීය.
"එහෙම නම් සභාපතිතුමා සේරම ක්‍රීඩාවලට අවසර දෙන්න ඕන."

No comments:

Post a Comment