Tuesday 13 August 2013

මුස්ලිම් පල්ලියට කෙළිනවිට අඹුවන් ගේ හිසට මොට්ටැක්කිලිය වෙනුවට කුරහන් සාටකයෙන් තලප්පා බඳින දවස


ආසන්නතම වශයෙන් වැලිවේරියේ දී නිරායුධ අහිංසකයින් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කරද්දී මේ කිසිවෙකුට එක මල්ලක්වත් නොපෙනීම වත්මන් ශ්‍රී ලංකීය දේශපාලන සංස්කෘතියේ අමන, කුහක සහ තිරස්චීන බව ප්‍රදර්ශනය කරවන්නකි.
කවුරුන් අකමැති වුවත් මව්ලානාලාට මතක්කර දිය යුතු දෙයක් ඇත. උතුරේ පමණක් නොව නැගෙනහිරත් විසූ දෙමළා ගුල්ලන්නොව කුරා කුහුඹුවෙක් තරම්වත් ගණනකට නොගෙන අන්ධයින්, ගොළුවන්, බිහිරන් සේ සිටි කාලය දැන් මවුලානලාට සහ ෆවුසිලාට ඔච්චම් කරන්නට පටන් ගෙන ඇති බව පල්ලියේ දොරකඩ සිටම දැක බලා ගැනීමට අවස්ථා උදාකර ඇත.
රාජ්‍ය මර්දනයට එරෙහිව සිසුන්, කම්කරුවන්, මාධ්‍ය වේදීන් මෙන්ම වෘත්තිකයින් පාරට බහිද්දී, ඊට එරෙහිව කඩාකප්පල්කාරී වැඩ කරවන්නට, ආණ්ඩුවේ බත් පැකට්ටුවට සහ රුපියල් 500 ට තම හෙංචයියන් පිට කොටුවට කැන්දූ මවුලානා දැන් යකඩ මල්ල සහ හාල් මල්ල සොයන්නේ තමන්ගේ යැයි කියා ගන්නා එවුන්ට කෙළවෙන විට ය. (මේ මවුලානාලා සිතන ආකාරයයි)
මෙම මවුලානා හදුන්වා ගන්නේ මහා කම්කරු වීරයෙක් ලෙසට වුවත්, ඔහු විසින් අවංකව සහ තිරසාරව කම්කරුවන් වෙනුවෙන් කර ඇති ඉටි ගෙඩියක් නැත. ඔහු චන්ද්‍රිකාගේ කාලයේ මහින්ද විසින්, බොරුවට හෝ කම්කරු ප්‍රඥප්තියක් ගෙන ආ විටවත් ඊට ඍජුව සහාය නොදැක්වූයේ එකල චන්ද්‍රිකාට තමන්ගේ තිබූ බයාදු ගතිය හේතුවෙනි. ඉන් අනතුරුව සිට මේ දක්වා කිසිම ලෙසකින්වත් කම්කරු අයිතීන් වෙනුවෙන් අවංක උත්සාහයක් දරා නැති මවුලානාට, විවේක සුවයෙන් සිටීමට දී ඇති ආණ්ඩුකාරකම හැරුණුවිට වෙන කිසිම දෙයක් කිරීමට නොපෙළඹේ.
මේවා මේ ආකාරයට සටහන් කරන්නට සිදුවන්නේ, ඇත්ත සහ බොරුව අතර ඇති වෙනස හදුනා ගන්නා පුරවැසි මානසිකත්වය, ලක් පොළොවේ වෙසෙන ඡන්දදායකයින්ට ලබා ගැනීමට සුදුසු ඉඩ, පාලකයින් විසින්ම යම් යම් විටෙක උදා කර ඇති නිසා ය.
අපි යළිත් මවුලානාගේ හාල් මල්ලට යමු. මවුලානා කියන යකඩ මල්ල කුමක්ද ? මවුලානා යකඩ මල්ල ලෙස හදුන්වන්නේ අවසන් වශයෙන් නන්දිකඩාල් කළපුව දක්වා ඝාතනයට ලක් වූ දස දහස් සංඛ්‍යාත අහිංසක දෙමළ වැසියන් නම් නොවනු ඇත. එසේ නොවන්නේ, මුල්ලිවයික්කාල් දක්වා වූ “මානුෂීය මෙහෙයුම“ට සහාය පළකරන්නට මවුලානා මොර දුන් නිසා ය. කිලිනොච්චියත් පසුකර ගෙන ඉදිරියට ඇදුණු “මානුෂීය මෙහෙයුම්කරුවෝ“ ලබාදුන් දෙයින් තමන් සතු වස්තුවම දැවී අළුවී යද්දී මවුලානා එහි යකඩ ඉතිරි වී ඇති දැයි නො සෙවූ නිසා ය. “යුද මුක්ත කලාපයේ“ අහිංසක දමිළ වැසියන්ගේ මළ මිනී බරුතු පිටින් පණුවන් ගසද්දී මවුලානාලා ට ගුල්ලෙක් තියා මකුණෙක්වත් නොපෙණුනු නිසා ය. එකල මවුලානා දකුණේ දේශහිතෛෂීන් සමග හරි හරියට වාඩි වී, රුහුණේ කුරහන් තලපයක සිහිනයේ තනි වී වුවත්, බහුතර සුපින්වතුන්ගෙන් ලද කිරිබත් පිඩක රස බැලුවෝ ය. එහෙව් මවුලානා හාල් මල්ලක දුටු පණු කැදැල්ලකට බිය වී ඇති සැටියෙකි.
මවුලානාට මිස හකීම්ට අපි මේවා නොකියමු. හකීම්, මවුලානාට වඩා නරුම මාවත් කිහිපයක දුර ගොස් යැයි අපි විශ්වාස කරමු. හකීම් යනු රූකඩයක් සහ සැබෑ අවස්ථාවාදියෙක් ම මිස මේ මිහි පිට සිටින ඉස්ලාම් ගුණයට නෑකම් කියන මානුෂ චරිතයක් නොවේ. එහෙයින්, අනෙකුන්ට ද දැනගනු පිණිස මේ මොහොතේ මවුලානාලාට අපි ඉතා කෙටියෙන් මේ ටික කියමු.
නුඹලාගේ අඹුවන් ගේ හිසට මොට්ටැක්කිලිය වෙනුවට කුරහන් සාටකයෙන් තලප්පා බඳින දවස වැඩි ඈතක නොවේ.

-ජනිත් විපුලගුණ-
Janith Vipulaguna

No comments:

Post a Comment